ඉංග්‍රීසි ඕඩයේදී මුහුදුබත් වූ සංක්‍රමණික සිහින | දිනමිණ

ඉංග්‍රීසි ඕඩයේදී මුහුදුබත් වූ සංක්‍රමණික සිහින

ඉංග්‍රීසි ඕඩයේ මේ ඛේදවාචකය වාර්තා වූ දිනට පසුදින එනම් ඉකුත් බ්‍රහස්පතින්දා ද ප්‍රංසයේ සිට බ්‍රිතාන්‍යය බලා ඇදෙන සංක්‍රමණිකයන් රැගත් ඩිංගි බෝට්ටු ගැන වාර්තා විය. තවත් දින කිහිපයකින් දුෂ්කර කාලගුණික තත්ත්වයන් එළඹෙන බව දන්නා බැවින් මේ තමන්ට ලැබී ඇති අවසන් අවස්ථාව ලෙස සලකා ඔවුන් ක්‍රියා කරන බවක් පෙනෙන්නට ඇත. එසේ වුව ද, එය අතිශය අවදානම්

සහගත ප්‍රයත්නයකි.

 

ප්‍රංස‍ෙය් සිට බ්‍රිතාන්‍ය බලා යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ඉංග්‍රීසි ඕඩයේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයෝ තිස්දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. මේ අනතුරින් මියගිය පිරිස 31ක් ලෙස පළමුව වාර්තා වුව ද පසුව එය 27ක් ලෙස සංශෝධනය කෙරිණි. මේ පිරිස අතර, ගැබිනි මවක ද ඇතුළුව කාන්තාවන් 5 දෙනකු සහ දැරියක ද සිටින බව සඳහන්ය. සංක්‍රමණිකයන්ට අත් වූ ‍මේ ඉරණම ඉංග්‍රීසි ඕඩයේදී සිදු වූ බරපතළම ඛේදවාචකය ලෙස සැලකේ. සංක්‍රමණික පිළිබඳ අන්තර්ජාතික සංවිධානය (IOM) පවසන පරිදි ඔවුන් එම දත්ත රැස්කිරීම ඇරඹූ 2014 වර්ෂයෙන් පසුව එහි සිදු වූ විශාලම ජීවිත හානිය මෙයයි.

මේ සිද්ධිය අසන්නට ලැබීමෙන් තමන් කම්පනයටත්, කනගාටුවටත් පත්වූ බව ද බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබිණි. අගමැති ජොන්සන් සහ ප්‍රංස ජනාධිපති එමෑනුවෙල් මැක්‍රන් මෙවැනි ප්‍රයත්න වැළැක්වීමට මිනිස් ජීවිත අනතුරේ හෙළන කල්ලිවල ක්‍රියා නතර කිරීමට බදාදා සවසම එකඟ වී තිබේ. ප්‍රංසයේ අභ්‍යන්තර කටයුතු ඇමැති ජෙරාල්ඩ් ඩාර්මනින් මාධ්‍යයට පැවසූ පරිදි මෙම අනතුරෙන් දෙදෙනෙක්ගේ ජීවිත ගලවා ගැනීමට හැකිව ඇති අතර, බෙල්ජියානු දේශසීමාව ආසන්නයේදී සිව්දෙනකු අත්අඩංගුවට ද ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අය මීට ඍජුව සම්බන්ධ බව පෙනෙන්නේ යැයි ඇමැතිවරයා පවසා ඇත. බ්‍රිතාන්‍ය අගමැතිවරයා පෙන්වා දෙන්නේ මෙවැනි අපරාධ මිනීමැරුම් ලෙස සැලකිය හැකි බවය. අපරාධ කල්ලිවල එවැනි ක්‍රියා නතර කිරීමට මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද ඔහු පවසයි.

එහිදී බ්‍රිතාන්‍ය, ප්‍රංසයට සහාය දෙන බව ද ජොන්සන් කියා තිබේ. මේ දෙරට මෙන්ම යාබද බෙල්ජියම, නෙදර්ලන්තය හා අනෙකුත් යුරෝපා රටවල් සමඟ ද සමීපව කටයුතු කරමින් සංක්‍රමණිකයන් ප්‍රංසයේ වෙරළ තීරයට ළඟා වීමට පෙරම එය වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුව ඇත.

 

හොඳ ජීවිත ගැන බලාපොරොත්තු

වෙරළ තීරය ඔස්සේ මුර සංචාරක මෙහෙයුම්, ආවේක්ෂණ කටයුතු, වරායවල ආරක්ෂාව වැඩි කිරීමට අදාළ නවීකරණ කටයුතු ආදිය සඳහා 2021-22 කාලසීමාවට අදාළව ප්‍රංසයට යූරෝ මිලියන 63කට ආසන්න මුදලක් දීමට බ්‍රිතාන්‍ය එකඟවී සිටී. ඉදිරි දිනවල අයහපත් කාලගුණික තත්ත්ව අපේක්ෂිතය. එබැවින් මේ කාලසීමාවේදී රාත්‍රී කාලයට සිය සිහින සැබෑ කර ගැනීම සඳහා සංක්‍රමණිකයන් ‍දරන මෙවැනි ප්‍රයත්න වැඩි වශයෙන් වාර්තා වන බව බලධාරීන්ගේ අත්දැකීමය. එසේම මේ සිද්ධීන් වාර්තා වන්නේ ලොව කාර්යබහුලම මුහුදු මාර්ගයක් ආශ්‍රිතවය. සංක්‍රමණිකයන් තුළ වඩා හොඳ ජීවිතයක් පිළිබඳ ඇති බලාපොරොත්තු නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරමේ යෙදෙන කල්ලිවල ආදායම් මාර්ගය බවට පත්ව තිබේ.

ඉංග්‍රීසි ඕඩයේදී සිදු වූ මෙම ඛේදවාචකයත් සමඟ බ්‍රිතාන්‍ය මෙන්ම ප්‍රංස දේශපාලනඥයෝ එකිනෙකා දෙසට චෝදනා එල්ලකර ගන්නා ස්වභාවයක් දක්නට ඇත. එසේ වුව ද සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් මේ දෙරටම විසඳාගත යුතු කාරණා ගණනාවක්ම ඇති බව පැහැදිලිය. ඒවා විමසන විට සංක්‍රමණිකයන් ප්‍රංසයේ සිට බ්‍රිතාන්‍යයට පලා එන්නේ ඇයි? යන ගැටලුවට ද පිළිතුරු සපයාගත හැකි වේ. ප්‍රංසයට අදාළව එහි පිහිටි සංක්‍රමණික කඳවුරුවල තත්ත්වය, කුඩා ළමුන් වීදිවල සහ වන ලැහැබ ආදියේ ජීවත්වීම වැනි කාරණාය. බ්‍රිතාන්‍යයට අදාළව නම් ප්‍රධාන ගැටලුව නම් සංක්‍රමණිකයන්ට නීත්‍යනුකූල ලෙස එහි අවසර ගැනීම දුෂ්කර වීමය. සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින අය පෙන්වා දෙන්නේ ඔවුන්ට සිය ජීවිත අනතුරේ හෙළන්නට සිදුව ඇත්තේ මෙවැනි කාරණා හේතුවෙන් බවය. එසේම මෙහි ඊටත් ගැඹුරට ගමන් කරන ගැටලුව නම් මෙවැනි පිරිස් සංක්‍රමණිකයන් බවට පත් වූයේ ඇයි? යන කාරණයයි.

කාබුල් ඛේදවාචකය

ඊට වඩාත් බලපා ඇත්තේ යුද ගැටුම් සහ තම උපන් රටවල ඇති අස්ථාවරත්වයත් බව පැහැදිලිව පෙනෙන කාරණයකි. මෙවැනි අනතුරුවලින් ජීවිත අහිමි වන හෝ අත්අඩංගුවට පත් වන පිරිස් අයත් වන්නේ කුමන රටවලට ද යන්න පැහැදිලි කර ගත් විට එය සාධක සහිතවම තහවුරු කර ගත හැකිය.

ආසන්න ඛේදවාචකයේදී මියගිය සංක්‍රමණික පුද්ගලයන් පිළිබඳ අනන්‍යතාව තවමත් තහවුරු කර ගනිමින් පවතී. එසේ වුව ද මෙතෙක් වාර්තා වී ඇති සිද්ධීන් පමණක් වුව ද මීට පිළිතුරු සපයා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය. මේ වර්ෂයේදී මෙතෙක් මධ්‍යධරණී මුහුදේ මෙවැනි අනතුරුවලින් ජීවිත අහිමි වූ සංක්‍රමණිකයන් ගණන 1600ක් පමණ වේ. ඔවුන් අතුරින් 29%ක්ම ඉරාන ජාතිකයන් වන අතර, 18%ක් ඉරාක ජාතිකයෝ වෙති. එනම් 50% කට ආසන්න පිරිසක්ම එම දෙරටෙනි. 9%ක් සිරියාවෙන්ය. 8%ක් සුඩානයෙනි. පසුගියදා ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානය අතට පත් වීමත් සමඟ හා ඊට ආසන්නව කාබුල් නුවරදී දැකගත හැකි වූ තත්ත්වය ද මේ ඛේදවාචකයේම පැතිකඩකි.

ඉංග්‍රීසි ඕඩයේ මේ ඛේදවාචකය වාර්තා වූ දිනට පසුදින එනම් ඉකුත් බ්‍රහස්පතින්දා ද ප්‍රංසයේ සිට බ්‍රිතාන්‍ය බලා ඇදෙන සංක්‍රමණිකයන් රැගත් ඩිංගි බෝට්ටු ගැන වාර්තා විය. තවත් දින කිහිපයකින් දුෂ්කර කාලගුණික තත්ත්වයන් එළඹෙන බව දන්නා බැවින් මේ තමන්ට ලැබී ඇති අවසන් අවස්ථාව ලෙස සලකා ඔවුන් ක්‍රියා කරන බවක් පෙනෙන්නට ඇත. එසේ වුව ද එය අතිශය අවදානම් සහගත ප්‍රයත්නයකි.

ප්‍රංශ ජනාධිපති මැක්‍රන් අවධාරණය කරන්නේ ඉංග්‍රීසි ඕඩය සුසානයක් වීමට ඉඩදිය නොහැකි බවය. මෙම ඛේදවාචකයට වගකිවයුත්තන් සොයා ගන්නා බව ද ඔවුන්ට දඬුවම් කරන බව ද ඔහු ප්‍රතිඥා දී තිබේ. සංක්‍රමණික අභියෝගය පිළිබඳ යුරෝපා රටවල අමාත්‍ය මට්ටමේ හදිසි රැස්වීමක් ද කැඳවීමට ඔහු පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා පවසන පරිදි මේ වර්ෂයේදී පමණක් මේ දක්වා උතුරු ප්‍රංසයේදී අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම්කරුවන් ගණන 1552කි. එවැනි සංක්‍රමණික ජාල 44ක් අක්‍රිය කළ බව ද ඔහු පවසයි.

එසේ තිබියදීත් මේ වර්ෂය තුළ මෙලෙස ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් බ්‍රිතාන්‍යයට පිවිසීමට වෑයම් කළ සංක්‍රමණික ප්‍රයත්න ගණන 47,000ක් පමණ වන බව ද ජනාධිපති මැක්‍රන් පෙන්වා දී තිබේ. සංක්‍රමණිකයන් 7800ක් ගලවා ගැනීමට හැකි වී ඇත. බී.බී.සී.ය වාර්තා කළ පරිදි ඉකුත් බදාදා පමණක් ඩිංගි වැනි කුඩා ප්‍රමාණයේ යාත්‍රා 25කින් පමණ මෙලෙස බ්‍රිතාන්‍යයට පිවිසීමට සංක්‍රමණිකයෝ වෑයම් කළහ. 2020 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂය තුළ මේ දක්වා මෙවැනි කුඩා යාත්‍රාවලින් බ්‍රිතාන්‍යයට පිවිසීමට දරා ඇති ප්‍රයත්න තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉකුත් 14 වැනිදා ඉතාලි වෙරළාරක්ෂක භට පිරිස විසින් ද කැලඩියා වෙරළ තීරය ආසන්නව තරුණ වියේ සිටින සහ ළමයින් 250කින් පමණ සමන්විත යාත්‍රාවක් ගලවා ගත් බව වාර්තා විය. එහි සිටි සංක්‍රමණිකයන්ගෙන් බහුතරය ඊජිප්තු ජාතිකයෝ වෙති. මධ්‍යධරණී මුහුද මෙවැනි සංක්‍රමණික ප්‍රයත්න සඳහා ඉතා ප්‍රකටය. සංක්‍රමණිකයන්ට යුරෝපයට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුව එය වීම ඊට හේතුවය.

 

නීතිවිරෝධී සංක්‍රමණ ජාවාරම

මේ හේතුවෙන් ඒ ආශ්‍රිත නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම්කාරී ක්‍රියා මෙන්ම මෙවැනි ඛේදවාචක ද සුලබය. සංක්‍රමණිකයන් සඳහා වන අන්තර්ජාතික සංවිධානය වාර්තා කරන පරිදි, 2014 වර්ෂයේ පටන් මේ දක්වා මධ්‍යධරණී මුහුදේදී සිය ජීවිත ගමන නිමා කළ සංක්‍රමණිකයන් ගණන 23000ක් පමණ වේ. 2016 වර්ෂයේදී පමණක් එලෙස මියගිය පිරිස 5000ක් පමණ විය. මෙම සත්වසර තුළ ඉංග්‍රීසි ඕඩ‍ය තරණය කරමින් සිටියදී පමණක් අහිමි වූ ජීවිත ගණන 166ක් තරම් වේ.

ආසන්න ඛේදවාචකයත් සමඟ එවැනි අඳුරු සිද්ධීන් වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙස බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් පෙනෙන්නට ඇත.

වෙරළ තීර ආශ්‍රිතව ඒකාබද්ධ මුර සංචාර වැඩි කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය අදහස් පළ කර තිබිණි. ප්‍රංශය අසල්වැසි රටවලින් තවදුරටත් සහාය ඉල්ලා සිටී. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රිටි පටෙල්, පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම සිදුවීම වසර ගණනාවක් ගත වන තුරු අප බියට පත් කළ සිද්ධියක් වනු ඇති බවය. ඒකාබද්ධ මුර සංචාර සඳහා පුද්ගලික ආරක්ෂකයන්ගේ සේවය සලසා ගැනීම ගැන ද මෙහිදී යෝජනා වී ඇත. තම රට තුළ සිටින සංක්‍රමණිකයන් ආපසු ප්‍රංසයට භාරදීම සඳහා වන එකඟතාවක් ගැන ද බ්‍රිතාන්‍ය අගමැතිවරයා අදහස් කර ඇතැයි වාර්තා වේ. මීට පෙර ඒකාබද්ධ මුර සංචාර සඳහා ඉදිරිපත් වූ යෝජනා ඒකීයභාවය පිළිබඳ ප්‍රංශය දැරූ ස්ථාවරයත් සමඟ යටපත් විය. කළ යුතුව ඇත්තේ නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම වැළැක්වීමට දැඩි පියවර ගැනීම බව ප්‍රංසයේ අදහසය. එම ජාවාරම්කරුවන් මර්දනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග නොගන්නා බවට ප්‍රංශය, බ්‍රිතාන්‍යයට චෝදනා එල්ල කිරීම ද දැකිය හැකිය. කෙසේ වුව ද ඉංග්‍රීසි ඕඩයේ ඛේදවාචකය මේ දෙරටම පාඩමක් කර ගැනීමට ඉඩ ඇති බව පෙනෙන්නට තිබේ.

කැලේස් ජීවිතාරක්ෂක සංගමයේ කලාපීය කළමනාකරු චාර්ල්ස් ඩිවොස් මෙම ඛේදවාචකය වාර්තා වීමත් සමඟ එම ස්ථානයට ළඟා වූ අයෙකි. ‘ඒ දර්ශනය සිහිපත් කළේ ටයිටැනික් ඛේදවාචකය, මිනිස්සු මුහුදේ පාවෙමින් සිටියා...’ යනුවෙන් ඔහු ගුවන්විදුලි සේවාවකට පවසා තිබුණේ කම්පනයෙනි.

ඉංග්‍රීසි ඕඩයේදී සිදු වූ මෙම ‍ඛේදවාචකය සංක්‍රමණික ජීවිතවල ඉරණම, ඔවුන්ගේ සිහින සහ යථාර්ථය පිළිබඳ අසන්නට ලැබුණු එකම සිදුවීම නොවේ. එමෙන්ම එය අවසන් සිදු වීම නොවනු ඇති බව ද තේරුම්ගත හැකි කාරණයකි. එසේ වුව ද මෙවැනි ඛේදවාචක වළක්වා ගැනීම සම්බන්ධයෙන් එක් රටකට හෝ දෙකකට නොව ලෝකයටම සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වගකීමක් පැවරේ. ඒ සහෝදර මිනිසුන් සංක්‍රමණිකයන් බවට පත් කරන යුද ගැටුම් ඇතුළු ඛේදවාචක වළක්වා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනි. එය පැහැර හැරිය යුතු නැති වගකීමකි. මානුෂීය යුතුකමකි.

ධම්මික සෙනෙ­වි­රත්න

නව අදහස දක්වන්න