“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ තේමාවෙන් 74 වන ජාතික නිදහස් දින සැමරුම | දිනමිණ

“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ තේමාවෙන් 74 වන ජාතික නිදහස් දින සැමරුම

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද(29) පැවැත්විණි.
 
“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ  74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී   තීරණය කළේය. 
 
තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද 74 වන ජාතික නිදහස් දින සැමරුමට ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට මෙහි දී දැනුම් දුන්නේය.
දේශීය විශේෂ ආරාධිතයන්ට ආරාධනා කිරීමේ වගකීම වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ  කටයුතු ,ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට පැවරිණි.
 
74 වන නිදහස් උළෙල  සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු විය. 
 
නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව 2022 පෙබරවාරි 02 වන දින නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය වූ අතර  නිදහස් දිනට සමගාමීව පැවැත්වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික වතාවත්  කරනු ලබන සිද්ධස්ථාන හා වේලාවන් නිර්දේශ කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට පැවරිණි.
නිදහස් දින උළෙලට සමගාමීව පැල  ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.
 
උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක්වූ අය පමණක්  සහභාගිකරගත යුතු බව ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
 
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්.පීරිස්, ජනක බණ්ඩාර තෙන්නකෝන්,වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත් අමාත්‍යාංශ ලේකම්වරුන්වන එස්.ආර් ආටිගල, අනුරාධ විජේකෝන් , මහාචාර්ය කපිල ගුණවර්ධන, ජේ.ජේ රත්නසිරි, එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග,  අතිරේක ලේකම්වරුන්වන ජේ.සී රණේපුර, තිලක් හෙට්ටිආරච්චි, එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්වන ප්‍රියංග නානායක්කාර,නයනා සංගල්ලුලිගේ , අධ්‍යක්ෂ නාවික පරිපාලන කොමදෝරු කේ.ඒ.පී.එස්.කේ කාරියප්පෙරුම, ජනාධිපති අධ්‍යක්ෂක ජනරාල්(මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂක (මාධ්‍ය හා සන්නිවේදන) සුරේන් නුවන් තාරක මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
 

නව අදහස දක්වන්න