කෙල්ලො නැත්නම් Commercial නැද්ද? | දිනමිණ

කෙල්ලො නැත්නම් Commercial නැද්ද?

දැන්වීම්කරණය තුළ කාන්තාව යනු ගසට පොත්තත්, පොත්තට ගසත් මෙනි. ඒ තරමටම කාන්තාව නොමැතිව දැන්වීමක් ප්‍රචාරණය ‍ෙවනවා දැක ගත නොහැක. ස්ත්‍රී ලාලිත්‍ය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති භාණ්ඩ විකිණීමට පවා කාන්තාව යොදා ගන්නේ එබැවිනි. වර්තමානය වන විට වෙ‍ෙළඳ දැන්වීම් අපේ ජීවිතවල අංගයක් බවට පත්ව ඇත. කාන්තාවගේ හිසේ සිට දෙපතුල දක්වා වර්ණනා කරමින් නිර්මාණය කරන්නාවූ වෙ‍ෙළඳ දැන්වීම් හරහා බොහෝ විට උත්සාහ කරන්නේ වාහනයක ටයරයක්, තේ කොළ පැකට් එකක්, එසේත් නැත්නම් බෙහෙත් වර්ගයක් විකිණීමටය. වර්තමානයේ කාන්තාව හරහා මෙම නිෂ්පාදන අලෙවි කර ගැනීමට පෙලඹී ඇත. කාන්තාව ප්‍රචාරණයට යොදා ගැනීම තුළින් එය කාන්තාවගේ සමාජයීය ප්‍රතිරූපය ගොඩනැංවීමට උත්සාහ දරයි. කාන්තාව වෙ‍ෙළඳ දැන්වීම් තුළ මවක්, බිරියක්, සහෝදරියක්, පෙම්වතියක් යනාදී භූමිකා රඟදක්වයි. මෙම දිනවල රූපවාහිනියෙහි විකාශනය වන වෙ‍ෙළඳ දැන්වීමක් මීට කදිම නිදසුනක් සපයයි.

එහි විස්තර වන්නේ නිවසක අම්මා අසනීප වීම (ඇයට කොන්දේ අමාරුව සෑදීම) නිසා ඉස්කෝලේ යන්නට සැරසී සිටින කුඩා දියණියට තම කොණ්ඩය නිසි ලෙස ගොතා ගැනීමට නොහැකි වීමත්, පුංචි පිරිමි දරුවා අත් වැඩට සාදන පුංචි නිවස නිර්මාණය කර ගැනීමට නොහැකිව කරදර වීමත්, ඒ සමඟම කුස්සියට වී බිත්තර ඔම්ලට් එකක් සාදා ගැනීමට වෙර දරන පියාගේ එම බිත්තරය බඳුනෙන් බිමට වැටී ගෙදර සිටින බලු පැටියා එය කටින් ඩැහැගෙන යන ආකාරයේ සිද්ධි මාලාවකි.

මේ සියලුම සිද්ධීන් වැලක් මෙන් ගෙතී ඇත්තේ ගෙදර මවට කොන්දේ අමාරුව සැදී වැඩපළ කර ගැනීමට නොහැකි වීම යන්න මුල්කර ගනිමිනි.

නමුත් මෙහි අවසානයේ කොන්දේ වේදනාවට අදාළ බෙහෙත් වර්ගය නිසා කොන්දේ අමාරුව සුව වෙයි. මේ ප්‍රචාරණය හරහා කාන්තාව යනුවෙන් සමාජය අර්ථ දක්වන ස්ත්‍රිය මෙවැන්නියක් ද යන්න විමසා බැලිය යුතුය. එනම් කාන්තාව යනු මෙහෙකාරියක් ද? නැතිනම් ඇය ද පිරිමින් හා සමව වැඩෙහි නිරත වන්නියක් ද යන්න අප පැහැදිලි කර ගත යුතුය. කාන්තාව නිවසේ නොමැති විට හෝ ඇය අසනීප වූ විට තම කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි පිරිමින් මේ සමාජයේ කොතෙකුත් ඇති ද? ඒ අය මේ රූප රාමුවෙහි වෙනසක් නොදකී. නමුත් ස්ත්‍රිය පිළිබඳ සංවේදී, ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ අවබෝධය ඇත්තෙකුට නම් මෙහි ඇති ආකල්පමය අරුත වටහා ගත හැකිය. මෙවන් ප්‍රචාරණයන් හරහා සමාජගත කිරීමට උත්සාහ දරන වැරදි අර්ථකථනයන් නිසා නිවසේ සිට රූපවාහිනිය නරඹන පුංචි දරුවාගේ මනසට ඇතුළු වන්නේ ද ගෙදර මව නිවසේ සියලු කටයුතු ඇගේ අත්දෙකින්ම කළ යුතු බවයි.

එහෙත් අප දැන් එම ආකල්ප වෙනස් කළ යුතුය. පිරිමියා ද නිවසේ කාර්යයන් සඳහා සහාය දිය යුතුය යන ආකල්පය සමාජ ගත කළ යුතුය. ඉහත විස්තර කරන ලද සිද්ධි මාලාවට කාන්තාව වෙනුවට පිරිමි‍ෙයකු ආදේශ කළේ නම් එය සියල්ලන්ගේම හාස්‍යයට ලක් වෙනු ඇත. මේ මිනිහට පිස්සු යැයි කෙනෙකු කියන්නට වුව ද පුළුවන.

අනෙක් අතට අඩ නිරුවත් කාන්තාව පැද්දි පැද්දී යන්නේ ටයරයෙහි ඇති වටිනාකම පෙන්වීමටය. තවත් අවස්ථාවක මෙට්ටයක් උඩ තරුණියක අඩ නිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිඳු පහස ඉස්මතු කිරීමටය. පිරිමියාගේ සුවඳ විලවුන් වර්ගයේ සුවඳට ඇදී එන තරුණිය පිරිමියාගේ සුවඳට වශී වී ඔහුව ස්පර්ශ කරන්නේ ඉතා සරාගී ආකාරයෙනි. මෙවැනි වෙ‍ෙළඳ දැන්වීම් හරහා පාඨකයන්ට විඳින්න ලැබෙන්නේ ලිංගික තෘප්තිය මිස වෙන කුමක් ද?

ඉහත ප්‍රචාරණයන් හරහා සමාජයට දෙනු ලබන්නේ කාන්තාව ලද බොළඳ, මටසිලුටු, මෘදු, සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති තැනැත්තියක් බවයි. කාන්තාව එබඳු ද? නැතිනම් ඇයත් පිරිමියා මෙන්ම සමාන හැකියාවන් ඇති, කුසලතාවන්ගෙන් පිරිපුන් තැනැත්තියක් නොවන්නේ ද? මේ පිළිබඳ අප විමසිය යුත්තේ මෙවන් අදහස් සමාජය වෙත පොම්ප කරන වෙළඳ දැන්වීම්කරුවාගෙන්ය. සමාජය කාන්තාව දකින්නේ එබඳු ඇසකින් නම් අප කුමක් කරන්නද යන්න ඔහුගේ පිළිතුරයි. නමුත් එය වෙනස් කිරීමේ භාරධූර වගකීමෙන් වැඩි කොටසක් පැටවෙන්නේ ද ඔහුටමය. මන්දයත් විද්යුත් මාධ්‍යය වර්තමානයේ මිනිස් ජීවිතවලට සමීප වී ඇත්තේ ප්‍රධාන ආහාර වේල් තුන හා සමානවය.

 

සචීරා සත්සරණි

 

නව අදහස දක්වන්න