ඔමික්‍රොන් ප්‍රභේදයට බිය නොවන්නැයි ෆයිසර් ප්‍රධාන විධායක කියයි | දිනමිණ

ඔමික්‍රොන් ප්‍රභේදයට බිය නොවන්නැයි ෆයිසර් ප්‍රධාන විධායක කියයි

ඔමික්‍රොන් ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වැඩි වශයෙන් ආසාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද තවදුරටත් ඔවුන්ට දරුණු රෝගාබාධවලින් ආරක්ෂා වීමට හැකියාව ඇතැයි ෆයිසර් සමාගම සමග ඒකාබද්ධව එම එන්නත නිපදවන බයෝටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උගර් සාහින් ප්‍රකාශ කර ඇත. එබැවින් නව ප්‍රභේදය පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙසත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ කලබල නොවී බූස්ටර් එන්නත්කරණය සඳහා වහාම යොමුවන ලෙසය.

අමෙරිකාවේ ඖෂධ බලවතා වන ෆයිසර් සමාගම සමඟ එක්ව ෆයිසර් එන්නත නිපදවනු ලබන බයෝටෙක් සමාගම කොවිඩ් වයිරසයේ මෙතෙක් බිහි වූ සෙසු ප්‍රභේද සියල්ලටම ඔරොත්තු දෙන ෆයිසර් එන්නත ඔමික්‍රොන් ප්‍රභේදයට ද සාර්ථකව ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත.

එන්නත්කරණය මගින් වර්ධනය කරන ප්‍රතිශක්තිකරණය මඟ හැරීමට ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයට වැඩි හැකියාව ඇති බවක් පෙන්නුම් කළ ද එහි විකෘතිතා වැඩි ප්‍රමාණයක් ඇති බැවින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය නිපදවන ටී සෛලවලට බලපෑම් ඇති කිරීමට ඔමික්‍රොන් ප්‍රභේදයට හැකියාවක් නැති බව ඔහු කියා සිටී.

 

නව අදහස දක්වන්න