අසාද් සාලි නිදහස් | දිනමිණ

අසාද් සාලි නිදහස්

රෝෂන් තුෂාර

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩ වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි අධි චෝදනා ලද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (9) තීන්දු කළේය.

විත්තිකාර අසාද් සාලි මහතා ආගමික වාර්ගික හා ජාතිවාදි හැඟීම් අවුස්සන ප්‍රකාශ කර ඇති බවට පැමිණිල්ල මඟින් තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බව පැවසූ මහාධිකරණ විනිසුරුවරයා අමල් රණරාජා මහතා අදාළ මාධ්‍ය සාකච්ඡාව සංස්කරණය කර ප්‍රචාරය කර ඇති බවද සඳහන් කළේය.

අසාද් සාලි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාට පෙබරවාරි 21 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා නොතිසිද නිකුත් කළේය.

අසාද් සාලි මහතාට එරෙහිව ද්වේෂ සහගත අසත්‍ය පැමිණිල්ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාගෙන් වන්දි අය කර දෙන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මේ නොතිසිය නිකුත් කළේය.

පැමිණිලිකාර මන්ත්‍රීවරුන් තිදෙනා දේවේෂ සහගත අසත්‍ය පැමිණිල්ලක් කරමින් අසාද් සාලි මහතා මාස 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වීම හා විමර්ශන සඳහා රජය මුදල් වැය කිරීම, අධිකරණ කාලය අපතේ හැරීමට එරෙහිව පැමිණිලිකරුවන්ගෙන් වන්දියක් අය කර ගත යුතු බවට මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස හා ගාමිණී ජයනන්ද යන තිදෙනාට මෙසේ නොතිසි නිකුත් කෙරිණි.

නව අදහස දක්වන්න