පීපල්ස් ලීසිං වෙතින් ‘PLC Touch’ නමින් Mobile app එකක් | දිනමිණ

පීපල්ස් ලීසිං වෙතින් ‘PLC Touch’ නමින් Mobile app එකක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රෛභාෂික ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරිත්වය යටතේ පවතින මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ මේ වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂි අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ.

“රක්ෂණාවරණ සබැඳි විශේෂාංග ඇතුළත් මෙවැනි Mobile app විසඳුමක් හඳුන්වා දෙන ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය බවට පත් වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය දැනට පවතින තත්ත්වය හමුවේ ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම ආරක්ෂාවද තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි. PLC Touch App භාවිතයෙන් කෙනකුට අපගේ ශාඛා වෙත පැමිණීමෙන් තොරව තම නිවෙසේ සිටම අවශ්‍ය ගනු දෙනු කිරීමට පුළුවන්. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව, සියලු ක්ෂේත්‍රයන්ගේ අනාගතය සඳහා මෙවැනි විසඳුම් අවශ්‍ය බව අපගේ විශ්වාසයයි. කාලයත් සමඟ නව ප්‍රවණතාවන්ට අනුගත වෙමින් ඉදිරියට යන අතරම අප රටේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ආදර්ශ රැසකුත් හඳුන්වා දෙමින් සිටිනවා.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි ශමීන්ද්‍ර මාර්සිලීන් මහතා පැවසීය.

මේ ජංගම යෙදුම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කරන ලද්දක් බවත්, එමඟින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ - සමූහ අංශයේ ප්‍රභාත් ගුණසේන මහතා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස ඉතිරි කර ගත් මුදල් ඉදිරියේදී සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් ඇතුළු විවිධ අංශ සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි. “මේ යෙදුමට පදනම් වූ විශේෂඥ තාක්ෂණික දැනුම ලැබුණේ අපගේ කණ්ඩායම තුළින්ම වීම අපට මහත් ආඩම්බරයක්. මෙය භාෂා තුනෙන්ම සැලසුම් කර තිබීම, විවිධත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් අප විශ්වාස කරන වටිනාකම් නිරූපණය කරන සාධකයක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම කොයි කාටත් පහසුවෙන් වටහාගත හැකි වන ආකාරයට මෙහි අතුරු මුහුණත ඉතා සරල ලෙස සැලසුම් කිරීමට අප පියවර ගත්තා.” ප්‍රභාත් ගුණසේන මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න