රැස්වීමට ප්‍රහාරයක් | දිනමිණ

රැස්වීමට ප්‍රහාරයක්

වාමාංශික දේශපාලන නායකයෝ සිය දේශපාලන ජීවිතය තුළ පටු වාසිය උදෙසා තුට්ටු දෙකේ වැඩ කළේ නැතැයි විරුද්ධ පාක්ෂික බුද්ධිමත්හු ද පොදු ජනතාව අදත් පවසති. එම ස්ථාවරයෙහි දී පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන චරිත දෙක සුවිශේෂව සිහිපත් කළ යුතු වේ. තම දේශපාලන ව්‍යාපාරය උදෙසා අනවශ්‍ය පුද්ගලයන් සමාජ විරෝධීන් සම්බන්ධ කර නොගැනීමට පිලිප් ගුණවර්ධන ඉදිරියෙන්ම පෙනී සිටියේය. මේ එබඳු අවස්ථාවකි.

1959 පැවැති කොළඹ නගර සභා මැතිවරණයට බොරැල්ල කොට්ඨාසයට ලං.ස.ස.ප. න් රොබට් ගුණවර්ධන ඉදිරිපත්ව සිටියේය. බොරැල්ල නගර ආසන්නයේ පැවැති ප්‍රචාරක රැස්වීමට පිලිප් ගුණවර්ධන පැමිණෙන විට රැස්වීම් භූමිය තුළ ද ඉන් පිටත ද ජනතාව පොදි ගැසී සිටියහ. සහෝදර කථිකයෙක් වේගවත්ව සභා අමතයි. මේ අතර, කේශර සිංහ ලීලාවෙන් පිලිප් වේදිකාව අසලට පිවිසියේය. වේදිකාවේ සියලු දෙනා නැඟිට ගෞරවාචාර කළහ. පිලිප්ගේ තියුණු ඇස් වේදිකාවේ අසුන්වල සිටි සියලු දෙනාම වෙත යොමු විණි. එක් පුද්ගලයෙකු වෙත පිලිප්ගේ එඩිතර දෙනෙත් තීව්‍ර ආකාරයෙන් යොමු විණි. පිලිප් එක් පයක් වේදිකාවට තබා අනෙක් පය තැබුවේ අර පුද්ගලයාගේ අසුන ළඟටය. අදාළ පුද්ගලයා කන් බීරි වී බලා සිටී.

“කසිප්පු කාරයන් මට එපා. ඡන්දෙත් එපා. ආධාරත් එපා” යැයි වේගවත් ස්වරයෙන් පැවසූ පිලිප් ඒ බඩ කඳ මහත පුද්ගලයා බෙල්ලෙන් අල්ලා වේදිකාවෙන් බිමට තල්ලු කළේය.

මල්ලී රොබට් ගල් ගැසී බලා සිටියේය. කිසිවෙක් කිසිවක් කතා කළේ නැත. වේදිකාවෙන් බිමට ඇද දැමූ අයුරු දුටුවෝ විශ්මයෙන් මෙන් බලා සිටියහ. පිලිප්ගේ සටන් ඉතිහාසය දන්නා සගයෝ සිද්ධිය ගැන එතරම් තැකීමක් නොකළේ පිලිප්ගේ ක්‍රියාවන් නිවැරදි බව දන්නා හෙයිනි.

අදාළ පුද්ගලයා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කාරයෙකි. ‘කිං සයිස්’ බොරුවට දමා ගත් ගරාජ්කාරයෙකි. අපරාධ සඳහා පොඩි එවුන් බිල්ලට දී තමන්ගේ ගතමනාව බේරා ගන්නා අපරාධකාරයෙකි. මොහු පැමිණ සිටියේ මහා අනතුරක් සඳහා බැව් පසුව සැලවිය. මෙබඳු පුද්ගලයන් දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් දෙපැත්තෙන් නොව කිහිප ආකාරයෙන් බරපතළ පාඩු සිදුවන බැව් පිලිප් දැන සිටියේය. කිසියම් කෙනෙකුගේ උප්පරවැට්ටියකට අනුව මේ පුද්ගලයා වේදිකාවට පිවිස සිටියේ රොබට්ගේ තියුණු ඇස් ද වසමිනි.

වරායේ කම්කරුවෙක් ඉතා ඉක්මනින් හදිසියේම පිලිප් දැනුම්වත් කර තිබුණි. අපරාධකාරයන්ට බොරු කාරයන්ට තක්කඩින්ට පිලිප් ගෙන් සමාවක් නොවීය. ඔවුන්ගේ දර්ශනය පවා මහා අන්තරාවක් වග පිලිප් සිය දේශපාලන ඉතිහාසයෙන් දැන සිටියේය. පෞද්ගලික වාසි කීපයකට වඩා පොදු යහපත් ක්‍රියා එකකින් දෙකකින් දීර්ඝ කාලීන පුළුල් සේවාවක් සිදුවන බව පිලිප් දැන සිටියේය. එසේ නොවී නම් 1900 පටන් හේවාගම් කෝරළ ජනතාව අද ඊයේ දක්වා බොරලුගොඩ මහගෙදර පරපුරට මෙතරම් ගෞරවාදරය දක්වන්නේ ද?

ඒ 1960 මාර්තු මැතිවරණ සමයයි. පිලිප් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ නායකත්වය හොබවමින් ඡන්ද කොට්ඨාස හැටකට පමණ අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය ඩබ්ලිව්.ඇස්.කරුණාරත්න, මීරිගම කොට්ඨාසයේ ම.එ.පෙ. අපේක්ෂකයා විය. චතුර කථිකයෙකු වූ කරුණාරත්න ම.එ.පෙ.උප සභාපතිවරයෙක් විය.

එදා කරුණාරත්න මහතාට ආධාර පිණිස ප්‍රචාරක රැස්වීම් ශාලාව සැලසුම් කර තිබුණේ මීරිගමය. සවස 3.00 පටන් රැස්වීම් භූමිය තුළත් අවටත් ජනතාව ඒකරාශි වී සිටියහ. අනිවාර්යයෙන් පක්ෂ නායක පිලිප් ගුණවර්ධන රාත්‍රි 8.00 ට පෙර රැස්වීම් භූමියට පැමිණෙන වග පාක්ෂික‍ෙයා් දනිති. කොළඹ අවට කරක් ගැසූ පිලිප් මීරිගමට එනවිට රාත්‍රි 8.00 ට ඔන්න මෙන්න ය.

ජය ඝෝෂා මධ්‍යයේ රාත්‍රි 7.55 ට පිලිප් වේදිකාවට පිවිසියේය. හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ සභාපති පියදාස සහෝදරයා පසෙක සිටී. ක්ෂණයකින් වරාය සේවකයෝ පිලිප් වටා ආරක්ෂක අත් වැල් දැල එලූහ. කන් බිහිරි කරවන තරම් අත්පොළසන් මධ්‍යයේ පිලිප් යකඩ කට ළඟට පිවිසියේය. පිලිප් තමාගේ ප්‍රමාදය ගැන මහා ජනකායෙන් පළමුවෙන්ම සමාව අයැදීය. දැන් ෂෙල් වෙඩි වරුෂාවය. හතර වටින් රතිඤ්ඤා හඬින් ප්‍රදේශයම ගිගුම් දෙයි. අට පසු වී මිනිත්තු පහක් පමණ ගත වීය. උස මහත සද්දන්ත උසස් පොලිස් නිලධාරියෙක් වේදිකාව අසලට පැමිණියේය.

“පිලිප් ගුණවර්ධන මහතාණෙනි, ශබ්ද විකාශන අවසර පත්‍රයේ කාලය අවසානයි. කතාව නතර කරන්න. ශබ්ද විකාශනය පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ.”ඔහු බර ඉංග්‍රීසියෙන් පැවසුවේය.

“නෑ, මට කතා කරන්න පුළුවන්.” පිලිප් පොලිස් නිලධාරියාට උත්තර දුන්නේ කන් පුපුරන හ‍ඬෙනි. පිලිප්ගේ කතාව දැන් තවත් වේගවත්ය.

“පිලිප් ගුණවර්ධන මහතාණෙනි මේ අණ කරන්නේ මීරිගම පොලිස් ඉන්ස්පැක්ටර්. වහාම කතාව නතර කරන්න. ශබ්ද විකාශන යන්ත්‍රය පාවිච්චි කරන්න දෙන්න බෑ.” ඔහු කතා කළේ දැඩි ස්ව‍රයෙනි.

පිලිප් ඊටත් වඩා වේග ස්වරයෙන් කතා කළේය.

‘ඉන්ස්පැක්ටර්, මේ කතා කරන්නේ පිලිප් ගුණවර්ධන. මට කතා කරන්න පුළුවන්.මම කතා කරනවා”.

“එහෙම කරන්න බෑ. වහාම කතාව නතර කරන්න’ යි අණ කරමින් ශබ්ද විකාශන යන්ත්‍රය අක්‍රිය කරන්නට ඔහු වේදිකාවට නගින්නට සූදානම් වෙත්ම පිලිප් ගැසූ පා පහරින් ඉන්ස්පැක්ටර් වේදිකාව අසල දොයිය පතන්ගා හතර ගාතෙන් බිම වැටුනේය. දනි පනි ගා නැගිට ගත් ඉන්ස්පැක්ටර් ජීප් රථයට නැංගේ හතරවටින් නැගුන හූ හඬ මධ්‍යයේය.

“සහෝදරවරුනි මගේ කතාව නවත්තන්නේ නැහැ. හැබැයි ටිකක් කරදර වන්නට සිදු වෙයි,” පැවසූ පිලිප් වේදිකාවෙන් බැස තමන් පැමිණි මෝටර් රථය අසලට ගියේ මුහුදු රළ දළ පෙළ දෙබෑ කර ගමන් ගත් ගජබා රජුගේ නීල මහ සෙනෙවියා ආකාරයෙනි. සහෝදර සේනාව ඔහු වටා ආරක්ෂක වළල්ලක් ද සකස් කළහ.

මෝටර් රියේ දොර විවෘත කර රිය තුළ වාඩි වූ පිලිප් එහි වූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් වේගවත් කතාව නොනවත්වාම කර ගෙන ගියේ ය.

පක්ෂ නායකයෙකුට තම වාහනයේ සිට ඕනෑම තැනක දී ශබ්ද විකාශනය මගින් මිනිත්තු දහයක් කතා කිරීමේ වාහන අවසර පත්‍රයක් පිලිප්ට ද තිබුණි.

පා පහර කෑ ඉන්ස්පැක්ටර් කුරුල්ලා මිටෙන් හඹා ගොස් පොලිස් භටයන් පුරවාගෙනය ළිරැස්වීම් භූමියට පැමිණියේ මහා ජයග්‍රහණයකින් මෙනි. පිලිප්ගේ වේගවත් කතාව ගිනි ගුලි මැද්දෙන් විහිදෙයි. පොලිස් නිලධාරිහු ‘බකං නිලාගෙන’ බලා සිටිති. මිනිත්තු දහය සමීප වෙත්ම වාහනය ඉදිරියට ඇදෙයි. බඹ විස්සක් පමණ දුරට ගොස් යළිත් වේගවත් කතාවේ දුමාරය පරිසරය සිප ගනී. යළිත් රිය පණගැන්වෙයි. බඹ විස්සක් පමණ දුර ගොස් නතර වෙයි.

ජන සන්නිපාතයේ වෙනසක් නැත. අත් පොළසන් සිවුරුහම් හඬ අඳුර මැද්දෙන් දසත පුරා රැව් දෙයි. රිය යළිත් ස්ථානය වෙනස් කරයි. විදුලි එළියෙන් පරිසරය පුරා ආලෝකය විහිදී ඇත. කම්කරු සහෝදරයෝ ‘රෙඩි’ පිට සිටිති. පිලිප්ගේ වාං මාලාව දිය ඇල්ලක් සේ නොබිඳිව ගලා බසී.

උසස් පොලිස් නිලධාරියාගේ ඇස්, අත් ඔර්ලෝසුවේ තත්පර කටු සමගය. රිය යළිත් ස්ථානය වෙනස් කරයි. පැය එක හමාරක් පමණ රැස්වීම් භූමියේ ස්ථාන නවයක දී ජනතාව ඇමතූ පිලිප් මීරිගම ජනතාවට ජය වේවා යි කතාව නතර කර යළිත් හඬ අඩුකර අවසානයේ මෙසේ පැවසීය.

“මගේ කතාවට අවහිර නොකිරීම ගැන මේ පොලිස් නිලධාරින්ට අවංකව ස්තූති කරනවා”

ඒ සමග රතිඤ්ඤා හඬින් පෙදෙසම ගිගුම් දුන්නේය.

“අපේ නායක පිලිප් සහෝදරයාට ජය වේවා!”

බන්ධුල ආර්.ගුලවත්ත

නව අදහස දක්වන්න