රංජන්ගේ නඩුව ජනවාරි 24 දා කැඳවයි | දිනමිණ

රංජන්ගේ නඩුව ජනවාරි 24 දා කැඳවයි

නෙල්කා මැදගෙදර

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුව ජනවාරි 24 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (3) තීරණය කළේය. එදින විත්තිකාර රංජන් රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කෙරිණ.

එස්. එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (3) එම දෙවැනි නඩුව කැඳවනු ලැබිණි.

එහිදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කලා උපාධිය සම්පූර්ණ කරමින් සිටින බවයි.

එහි පළමු වර්ෂයේ අධ්‍යයන කටයුතු අවසන්ව මේ වන විට දෙවැනි අධ්‍යයන කටයුතු ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම කටයුතු කිරීමට පහසුකම් සලසන ලෙස සහ ඊට අවසර දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම බන්ධනාගාර අධිකාරියට යොමු කරන ලෙස නියම කළ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය. ඉකුත් 2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා රූපවාහිනි වැඩසටහනකදී කළ ප්‍රකාශකින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් මේ නඩුව ගොනු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිකුත් කළ නොතිසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ කර ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළ චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න