ශ්‍රී ලංකාව 2-0කින් තරගාවලිය දිනයි | දිනමිණ

ශ්‍රී ලංකාව 2-0කින් තරගාවලිය දිනයි

මිකීට ජයග්‍රාහි සමු ගැනීමක්

රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමඟ සෝබර්ස් - තිසේරා කුසලානය සඳහා තරග 2කින් සමන්විතව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවසන් තරගාවලිය ද මෙය වූ අතර, මේ සමඟින් ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් හිමි කර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ඊයේ තරගය ආරම්භ කර ඕවර 2.4ක් වෙද්දී වාර්තාගත 9 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටීමත් සමඟ ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ කොදෙව් පිල හමුවේ ලකුණු 297ක ඉලක්කයක් තබමිනි.

එම ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට ඕවර 56.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 132ක් පමණි. 

නක්රුමා බෝනර් ලකුණු 44ක් රැස් කරමින් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ජෙරමයින් බ්ලැක්වුඩ් ලකුණු 36ක් රැස් කළේය. දෙදෙනා අතර, දෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු ලකුණු 50 ඉනිමේ ඉහළම සබඳතාව විය.

කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 40ක් තුළ බිඳ දමමින් ශ්‍රී ලංකාවට මේ දැවැන්ත ජය අත් කර දීමට රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය සමත් වූහ.

ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාගත් අතර, මෙන්ඩිස් මේ තරගයේදී පිට පිට දෙවැනි වරටත් කඩුලු 5 සම්පූර්ණ කර ගත්තේ ලකුණු 66කදීය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 204කට දවාගත් කොදෙවවන් පළමු ඉනිමට ලකුණු 253ක් රැස් කළ අතර, ලකුණු 49ක් පසුපසින් ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 345ක් රැස් කර තිබියදීය.

ඊයේ තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ලට ලකුණු 107 සබඳතාවක් පිහිටුවා තිබූ ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය ඊට තවත් ලකුණු 17ක් එක් කර ගත්හ. ධනංජය නොදැවී ලකුණු 155ක් රැස් කළ අතර, ඇඹුල්දෙණියගේ ඉනිම ලකුණු 39කට සීමා විය.

ඒ සමඟ ලකුණු 124කින් ගොඩනැඟුණු 9 වැනි කඩුල්ලේ සබඳතාව නිමා වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාව වූ ඉහළම සබඳතාව ලෙස ද වාර්තා පොත අලුත් කරමිනි. මින් පෙර තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් 2010 වසරේදී එම වාර්තාව සතු කර ගෙන සිටියේ ඉන්දියාවට එරෙහිව ලකුණු 118ක් රැස් කරමිනි.

අවසන් තරගයේ වීරයා ලෙස ධනංජය ද සිල්වා නම් කළ අතර, තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකේදීම කඩුලු 18ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ට හිමි විය.

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වූ අතර, පළමු තරගය ජය ගනිමින්ම එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා පිල මේ ජය සමඟින් එය තවදුරටත් රැක ගැනීමට සමත් විය. ප්‍රසාද ලකුණු 24ක් සමඟින් 100%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වී ඇත.

නව අදහස දක්වන්න