එල්පීඑල් සටන හෙට කොළඹදී ඇරඹේ | දිනමිණ

එල්පීඑල් සටන හෙට කොළඹදී ඇරඹේ

නිරෝෂාන් ප්‍රියංකර

අවසන් වටය 20 දා සිට හම්බන්තොටදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ඩුබායිහි පිහිටි අයිපීජී සමාගම මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙට (5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

හෙට රාත්‍රී 7.30ට පසුගියවර ශූරයන් වූ යාපනය සහ අනුශූරයන් වූ ගාල්ල ගැටුමෙන් තරගාවලිය ආරම්භ වන අතර ඉන් පෙර ප.ව. 3.30ට සමාරම්භක උලෙළ පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී මෙවර කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් මෙන්ම නම් ද වෙනස් වී තිබේ.

ඒ අනුව මෙවර තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් (ජැෆ්නා ස්ටැලියොන්ස්), කැන්ඩි වොරියර්ස් (කැන්ඩි ටස්කර්ස්), ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බු ස්ටාර්ස් (කලම්බු කිංග්ස්) සහ දඹුල්ල ජයන්ට්ස් (දඹුල්ල වයිකිංග්) ලෙස වෙනස්ව ඇති අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නම සහ ලාංඡනය පමණක් වෙනස් වී නැත. මෙවර තරගාවලියේදී සියලු කණ්ඩායම්වල නායකත්වය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හිමිව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව පසුගිය වසරේ ශූරතාව දිනූ ජැෆ්නා කණ්ඩායම තිසර පෙරේරා විසින්ම මෙහෙය වන අතර, දසුන් ශානක (දඹුල්ල), ඇන්ජලෝ පෙරේරා (කැන්ඩි), භානුක රාජපක්ෂ (ගෝල්) කණ්ඩායම්වල නායකයන් ලෙස කටයුතු කරති.

ඇන්ජෙලෝ මැතිව්ස් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට සිටි අතර, කොදෙව් පිල සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට එල්පීඑල් තරගාවලිය අහිමි වන බවට වාර්තා පළ විය. එසේ වුව හොත් එම කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් එම ටෙස්ට් තරගාවලියේ සිව්වැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්න කියා තිබුණේ තමාට එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි මැතිව්ස් පැවසූ බවයි.

තරග 24කින් සමන්විත මේ තරගාවලිය යටතේ හෙට සිට 17 වැනිදා දක්වා මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටයට සහ අවසන් තරග 20 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේ අවසන් වටයේ තරග රටාව වෙනස් කර ඇති අතර, ඒ අනුව මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක 20 වැනිදා පළමු සුදුසුකම් ලැබීමේ තරගයට එක් වේ. එහි ජයග්‍රාහකයන් කෙලින්ම අවසන් මහා තරගයට එක් වනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ 3 සහ 4 වැනි ස්ථානවල පසු වන කණ්ඩායම් දෙක 20 වැනිදාම පරාජිතයන් ඉවත් කිරීමේ (එලිමිනේටර්) තරගයට එක් වන අතර, එහි ජයග්‍රාහකයන් පළමු සුදුසකම් ලැබීමේ පරාජිතයන් සමඟ 21 වැනිදා අවසන් මහා තරගයට එක් වන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය 23 වැනිදා පැවැත්වෙන අතර, 24 වැනිදා අවසන් තරගයට අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.

මේ අතර, මේ තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක්වීමට නියමිතව සිටි අතර, කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට එක් වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

නව අදහස දක්වන්න