පවන් සහ වනුජ යොවුන් පිල දිනවති | දිනමිණ

පවන් සහ වනුජ යොවුන් පිල දිනවති

නිරෝෂාන් ප්‍රියංකර

පවන් පතිරාජ වාර්තා කළ විශිෂ්ට ශතකයත්, වනුජ සහන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක එංගලන්ත අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ එස්එස්සී පිටියේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 148ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ ජය සමඟ තරග 5කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 251ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ එංගලන්ත යොවුන් පිලට ඕවර 31.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 103ක් පමණි.

ජෙම්ස් රූ (50) හුදෙකලා සටනක නිරත වෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද සෙසු පිතිකරුවන්ගෙන් සහායක් නොලැබීමෙන් එය අසාර්ථක විය. අගනා පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් ලකුණු 21කට කඩුලු 5ක් දවාගත් අතර, යසිරු රොද්‍රිගෝ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පවන් පතිරාජ ලකුණු 113ක් රැස් කළේ පන්දු 131කදී හතරේ පහර 13ක් සමඟිනි. ආරම්භක පිතිකරු යුගලය ලකුණු 18ක් තුළ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි පවන්, ෂෙවෝන් ඩැනියෙල් (18) ලකුණු තෙවැනි කඩුල්ලට ලකුණු 68ක් සහ සිව්වැනි කඩුල්ල රනුද සෝමරත්න සමඟින් ලකුණු 105ක සබඳතා ගොඩනැඟුවේය. මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ රනුද පන්දු 79කින් නොදැවී ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟිනි.

නව අදහස දක්වන්න