ලෝකයට බලපෑම් කරන ඔමික්‍රොන් වයිරසය | දිනමිණ

ලෝකයට බලපෑම් කරන ඔමික්‍රොන් වයිරසය

ධම්මික සෙනෙවිරත්න

අමෙරිකාවේ වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆෝසි පෙන්වා දෙන පරිදි, මෙවැනි තත්ත්වයක් හමුවේ සංචරණ තහංචි පැනවීම මඟින් අපේක්ෂා කරන්නේ ආසාදනයට ලක්ව ඇති පුද්ගලයන් රට තුළට ඇතුල්වීම වළක්වාගැනීම යනුවෙන් වටහා ගත යුතු නැත. 

කොවිඩ්19 වසංගතය පිළිබඳ ලොව පළමු වරට වාර්තා වී දෙවසරක් ගතවීමට ආසන්නව තිබියදී, එහි නවතම ප්‍රභේදය වන “ඔමික්‍රොන්”ගැන වාර්තා වූයේ මීට සතියකට පෙරය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉකුත් බදාදා නිවේදනය කළේ ඒ වන විට එය රටවල් 23කින් වාර්තා වී ඇති බවය. ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ තවමත් ලෝකය විශාල වශයෙන් අඳුරේ සිටියදී එහි බරපතළ බව, ව්‍යාප්තවීමේ වේගය, ප්‍රතිශක්තිකරණය හමුවේ ප්‍රතිචාර දක්වන ස්වභාවය වැනි කාරණා පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විශාල අවධානයක් යොමු වී ඇත. මේ කාරණා ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, WHO විශේෂඥ කණ්ඩායම් පසුගිය දිනවල දිගින් දිගටම රැස් වී සාකච්ඡා කිරීම ද සිදු විය. තවමත් ලොව පුරා කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමට වඩාත් වගකිව යුතු වන්නේ ‘ඩෙල්ටා’ ප්‍රභේදයයි. එය පළමු වරට හඳුනා ගත්තේ ඉන්දියාවෙන් වන අතර, ‘ඔමික්‍රොන්’ මුලින්ම වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙනි. ‘ඔමික්‍රොන්’ ගැන ලෝකය දන්නා තොරතුරු ප්‍රමාණය අල්ප බැවින් ඊට මුහුණදීම ලෝකය හමුවේ ඇති සංකීර්ණ තත්ත්වයක් බවට පත්ව තිබේ. කෙසේ වුව ද, WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩ්නොම් ගෙබ්‍රියේසස් පෙන්වා දෙන්නේ, ඉහළ ව්‍යාප්තියක් පෙන්වන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ද පාලනය කරනු ඇති බවය.

ඔමික්‍රොන් ප්‍රභේදය ගැන අමෙරිකාවෙන් පළමුවරට වාර්තා වූයේ ඉකුත් බදාදාය. ඒ කැලිෆෝනියාවෙනි. සිකුරාදා වන විට එය ආසාදනයට ලක්ව සිටි පුද්ගලයන් ගණන 5ක් බව ප්‍රකාශයට පත් විය. මේ වැඩි දෙනා නිව්යෝර්ක් ආශ්‍රිතවය. බ්‍රහස්පතින්දා වන විට ඉන්දියාවෙන් ද ඔමික්‍රොන් ගැන අසන්නට ලැබිණි. මේ වන විට යුරෝපය ද ඇතුළුව ලොව බොහෝ රටවල් අප්‍රිකානු කලාපයේ රටවල සිට පැමිණෙන සංචාරකයන්ට රටට ඇතුල්වීම තහනම් කර ඇත. දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කළ හැකිය. කෙසේ වුව ද, මෙවැනි නව ප්‍රභේදයන් රටකට ඇතුල්වීම වළක්වා ගැනීම අතිශයින්ම දුෂ්කර තත්ත්වයකි. එබැවින් විද්‍යාඥයන්ගේ, සෞඛ්‍ය විශේෂඥයන්ගේ මෙන්ම රට රටවල පාලන තන්ත්‍රවල විශාල අවධානයක් යොමුව ඇත්තේ එය ව්‍යාප්තවීම පාලනය කිරීම සම්බන්ධයෙනි. එහිදී දැනටමත් දෙවසරක් තිස්සේ අනුගමනය කරමින් ඇති මුව ආවරණ පැලඳීම, සබන් දමා නිතර හොඳින් දෑත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි අත්‍යවශ්‍ය මූලික සෞඛ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කිරීම මෙන්ම එන්නත්කරණ ඉලක්ක සපුරාගැනීම අතිශයින්ම වැදගත් බව පෙන්වා දී ඇත. පළමුවරට ඔමික්‍රොන් ගැන අසන්නට ලැබුණු අප්‍රිකානු කලාපයේ එන්නත්කරණය තවමත් ඉතා මන්දගාමීය. අමෙරිකාව සහ යුරෝපා රටවල් තම ඉලක්ක සපුරා සිටී. මේ වැඩි සංඛ්‍යාවක් බූස්ටර් එන්නතක් දීමට ද පියවර ගෙන තිබේ. එමගින් වයිරස ආසාදනයට එරෙහිව ශරීරයේ අමතර ආරක්ෂාවක් සැලසේ.

මුඛ ආවරණ පැලඳීම

‘ඔමික්‍රොන්’ පිළිබඳ ඇති වී තිබෙන තත්ත්වය මෙවැනි වසංගතයක් හමුවේ අනපේක්ෂිත ද නැත. WHO ප්‍රධානියා ද පවසන පරිදි මෙය අපේක්ෂා කළ තත්ත්වයකි. නව ප්‍රභේද වාර්තාවීම වරින්වර සිදුවිය හැකිය. එබැවින් වඩාත්ම අවශ්‍ය වන්නේ එවැන්නකට මුහුණදීම සඳහා ලෝකයට ඇති සූදානමය; හැකියාවය. “ඔමික්‍රොන්” ගැන සෞඛ්‍ය විශේෂඥයන් පවා බරපතළ අවධානයක් යොමු කිරීමට එය විකෘතීන් විශාල සංඛ්‍යාවක් සහිත ප්‍රභේදයක් වීම බලපා ඇත. පෙනී ගොස් ඇති පරිදි විකෘතීන් 50ක් පමණ වාර්තා විය හැකිය. විකෘතීන් සම්බන්ධයෙන් ඇති වැදගත්ම කාරණය නම් එන්නත් සඳහා ප්‍රතිරෝධී විකෘතියක් හඳුනා ගත හැකි ද යන්නය. වාසනාවකට, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ද දැනට භාවිත වන එන්නත් මඟින් ආරක්ෂාව සැලසේ. දැනට එන්නත්කරණය සපුරා සිටින පුද්ගලයන් අතරින් ද ‘ඔමික්‍රොන්’ ආසාදිතයන් හමු වී ඇත. එබැවින්, එන්නත්කරණය මඟින් විශාල ලෙස අරමුණු කෙරෙන්නේ රෝගය වැලැඳීමෙන් වැළැක්වීම පමණක් නොව රෝහල්ගත වීමට තරම් බරපතළ තත්ත්වයකට පත් වීම වළක්වා ගැනීම සහ මරණයට පත් වීමේ අවදානම වැළැක්වීමය.

අමෙරිකාවේ වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆෝසි පෙන්වා දෙන පරිදි, මෙවැනි තත්ත්වයක් හමුවේ සංචරණ තහංචි පැනවීම මඟින් අපේක්ෂා කරන්නේ ආසාදනයට ලක්ව ඇති පුද්ගලයන් රට තුළට ඇතුල්වීම වළක්වාගැනීම යනුවෙන් වටහා ගත යුතු නැත. එසේ නම්, එමඟින් අපේක්ෂා කරන්නේ ඊට මුහුණදීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගැනීමයි. එම කාලසීමාව තුළ නව ප්‍රභේදය පිළිබඳ විද්‍යාඥයන්ට අවබෝධයක් ඇති කරගැනීමට හැකියාව තිබේ. එබැවින් සංචාරක හා සංචරණ තහංචි යනු තාවකාලික පියවරකි. බ්‍රිතාන්‍ය, ජර්මනිය වැනි රටවල් ද සංචරණ තහංචි සහ මුව ආවරණ පැලැඳීම අනිවාර්ය කිරීම පිළිබඳ රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ පොදු ස්ථාන, සාප්පු, පොදු ප්‍රවාහනය ආදිය පරිහරණය කරන විට හා ඒවායේ ගැවසෙන විට මුව ආවරණ පැලැඳ සිටීම අනිවාර්ය බව අගමැති බොරිස් ජොන්සන් කියා තිබිණි. රටට ඇතුල් වන ඕනෑම අයෙක් PCR පරීක්ෂණයට ලක් විය යුතු අතර, ආසාදිතයන්ගේ ආශ්‍රිතයකු නම් ස්වයං නිරෝධායනයට ද යොමු කෙරේ. එන්නත්කරණය සපුරා සිටිය ද මේ කොන්දේසි අදාළය. කෙසේ වුව ද, මෙවර නත්තල ඉකුත් වසරට වඩා හොඳින් ගතකිරීමට හැකි වනු ඇතැයි සාධාරණ ලෙස කල්පනා කළ හැකි බව ද අගමැති ජොන්සන්ගේ අදහසය; අනුගමනය කර ඇති සෞඛ්‍ය ආරක්ෂක පියවර තාවකාලික වන අතර පූර්ව සූදානමක් සඳහා ගත් ක්‍රියාමාර්ගය. අගමැති ජොන්සන් පවසන පරිදි මෙවර උත්සව සමය පෙර වසරට වඩා හොඳින් ගතකිරීමට හැකියාව ලැබී තිබේ නම් ඒ, එන්නත්කරණයට ස්තුතිවන්ත වන්නටය. වයස අවුරුදු 18 කාණ්ඩයට බූස්ටර් එන්නත දීම සහ අවුරුදු 12-15 කාණ්ඩයට දෙවැනි මාත්‍රාවක් දීම ගැන මේ දිනවල බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති. බ්‍රිතාන්‍යයෙන් නව ආසාදිතයන් වාර්තාවීමේ වැඩි වීමක් පෙන්නුම් කළේ නොවැම්බර් මුල පටන්ය. ඉකුත් සෙනසුරාදා වන විට එම දෛනික ආසාදිතයන් ගණන 40,000ට ආසන්න විය. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවා ඇත.

එන්නත්කරණය

තහංචි පැනවීමේදී ජර්මනිය වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එන්නත් ලබා නොමැති පුද්ගලයන් කෙරෙහිය. චාන්සලර් ඇන්ජලා මර්කෙල් පවසන පරිදි මෙම ක්‍රියාමාර්ග ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමෙන් ද දියත් කිරීමට එකඟ වී ඇත්තේ ජාතික සහයෝගිතා ක්‍රියාමාර්ගයක් වශයෙනි. මේ යටතේ අවන්හල්, සිනමා ශාලා, විනෝද උද්‍යාන, සාප්පු සංකීර්ණ ආදී ස්ථානවල ගැවසීමට අවසර ලැබෙන්නේ එන්නත්කරණය සපුරා ඇති සහ දැනටමත් ආසාදනයට ලක්ව සුවය ලබා සිටින පුද්ගලයන්ට පමණි. පෙබරවාරිය වන විට එන්නත්කරණය අනිවාර්ය කිරීමට හැකි වනු ඇති බව ජර්මනියේ අපේක්ෂාවය. එරටින් වාර්තා වූ සිව්වැනි රැල්ල වසංගතයේ වඩාත් බරපතළ වටය වූ අතර, දැනටත් දෛනිකව 400කට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තාවේ. මේ තත්ත්වය යටතේ එන්නත්කරණය අනිවාර්ය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බව චාන්සලර්වරිය පවසයි. ඇන්ජලා මර්කෙල්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇති ඔලෆ් සුල්ෂ් පවසන්නේ ද ඊට සහාය දක්වන බවය. බර්ලින් පුරපති පවසා ඇත්තේ ද වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ එන්නත් නොගත් අය අතරින් බවයි. මෙම ඇතැම් ක්‍රියාමාර්ග සඳහා එරට ප්‍රාන්ත 16ම දැනටත් එකඟවී සිටිති. නත්තල එළැඹෙන විට පළමු, දෙවැනි සහ බූස්ටර් මාත්‍රා යන සියල්ල එක්ව ගත් විට එන්නත් මිලියන 30ක ඉලක්කයක් සපුරා ගැනීම ජර්මනියේ අපේක්ෂාවය. අලුත් අවුරුදු උදාව වෙනුවෙන් පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන දැනටමත් තහනම් කර තිබේ.

යුරෝපා රටවලින් මෙතෙක් වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් ගණන 100කට ආසන්න වේ. ඉදිරි මාස කිහිපය තුළ යුරෝපයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩකට වඩා ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් රෝගී වූවන් වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වන විට යුරෝපා රටවල් 15කට වැඩි සංඛ්‍යාවකින් ඔමික්‍රොන් ප්‍රභේදය වාර්තා වී තිබේ. එම සිද්ධීන් බොහොමයක් අප්‍රිකානු රටවල සංචාරය කර පැමිණි හෝ අප්‍රිකාව සහ යුරෝපය අතර ගුවන් ගමන්වලට අදාළ වේ.

දකුණු අප්‍රිකාවේ ආධිපත්‍ය පතුරන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් පත්වෙමින් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි නව ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළයාමක් දක්නට තිබේ. ඉකුත් 2 වැනිදා වන විට නව ආසාදිතයන් 11500 දක්වා වාර්තා වී තිබූ අතර, 1 වැනිදා එම සංඛ්‍යාව 8500කි. නොවැම්බර්ය මැද වන විට නව ආසාදිතයන්ගේ දෛනික සාමාන්‍ය 200-300ක් පමණ වී තිබිණි. කෙසේ වුව ද, දකුණු අප්‍රිකාව පිළිබඳ සමස්ත චිත්‍රයක් මවා ගැනීම දුෂ්කර වී ඇති බව සෞඛ්‍ය අංශවල අදහසය. ආසාදනයට ලක් වන තැනැත්තන් රෝහල්ගත වීම සිදු වන්නේ සති 3,4ක් පමණ පමා වීම ද ඊට එක් හේතුවකි. බී.බී.සී.ය දෙදිනකට පෙර වාර්තා කළ පරිදි ජොහැන්ස් බර්ග් නගරයේ අවන්හල්, සුපිරි වෙළෙඳසැල් ආදී ස්ථාන තවමත් ජනයාගෙන් පිරී පවතී. උත්සව සමය එළැඹීමත් සමඟ ඒවා වඩාත් කාර්යබහුල හා ජනාකීර්ණ ස්ථාන බවට පත්ව තිබේ. මිනිසුන් ඔමික්‍රොන් ගැන කතාකරනු අසන්නට ලැබුණ ද ඔවුන් තුළ භීතියක් හටගෙන නැති බව පෙනෙන්නට ඇත. වසංගත තත්ත්වයක් යටතේ භීතියට පත් වීම අපේක්ෂා නොකළ ද මෙය සැහැල්ලුවෙන් ගත යුතු තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටී.

ඔමික්‍රොන් ප්‍රභේදය වාර්තා වූ අලුත්ම රටවල් අතර සිටින්නේ ඉන්දියාව, ඝානාව, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. දකුණු අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් ඇත්තේ වසංගතයේ සිව්වැනි වටයයි. ඉදිරි දින හෝ සති කිහිපය තුළ ඔමික්‍රොන් වාර්තා වන රටවල් සංඛ්‍යාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි, එහෙත් ප්‍රාර්ථනා නොකරන තත්ත්වයකි. කොවිඩ් 19 යනු ගෝලීය වසංගතයක් බව ද සෑම රටක්ම එය පරාජය කරන තුරු ලොව කිසිදු රටක් මුළුමනින්ම ආරක්ෂිත නොවනු ඇති බව ද තේරුම් ගනිමින් ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණදීම මේ මොහොතේ ලෝකය ඉදිරියේ ඇති අභියෝගයයි.

නව අදහස දක්වන්න