‍රැකියා හැර යන අලුත්ම ‍රැල්ල | දිනමිණ

‍රැකියා හැර යන අලුත්ම ‍රැල්ල

ඇමෙරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 අගෝස්තු මාසය වන විට මිලියන 4.3ක් සිය ‍රැකියාවලින් ඉල්ලා අස් වී ඇත. එය ඇමෙරිකාවේ සමස්ත ශ්‍රම බළකායෙන් 2.9%කි. එසේම එය මෙතෙක් වාර්තා වුණ ඉහළම ‍රැකියා ඉල්ලා අස්වීමේ ප්‍රමාණය බව ද වාර්තා වී ඇත. එක්සත් රාජධානියේ අගෝස්තු මාසයේදී පමණක් ‍රැකියා පුරප්පාඩු මිලියනයක් පමණ ඇතිව තිබේ. මේ ආකාරයෙන් පුරප්පාඩු ඇති වීමට මූලිකවම බලපා ඇත්තේ අනපේක්ෂිත ලෙස සේවකයන් තම ‍රැකියා හැර යෑමයි. එසේ වීමට බලපා ඇති ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැක්කේ පහසුකම් අඩු සේවා තත්ත්ව, කොව්ඩ් ආසාදනය වෙතැයි ඇති බිය මේ අතර ප්‍රධානය.

කොරෝනා වසංගතය විසින් මිනිස් ජීවිතවලට නේකාකාර පාඩම් උගන්වමින් හිඳී. ඒ අතර ‍රැකියාවලින් ඉල්ලා අස්වීමේ මහා ‍රැල්ලක් ලෝකය පුරා පැතිරෙමින් ඇත. මෙහි සමාරම්භය සනි‍ටුහන් කළේ කොරෝනා දෙවැනි ‍රැල්ල අතරතුරය. ඒ සඳහා බලපෑම් කළ කාරණා රාශියකි. ලොක්ඩවුන් කාල සීමාව ඇතුළත ‍රැකියාව සහ සාමාන්‍ය ජීවිතය අතර පැවති සීමා ඉර වෙනස් වීම මූලිකය. මීට ඉක්බිතිව ‍රැකියාව වටා පැවති සෙසු ජීවිතය ලොක්ඩවුන් කාල සීමාවත් සමඟම උඩු යටිකුරු විය. එනම් නිවෙස සහ පවුල කේන්ද්‍ර කරගෙන මිනිසුන්ට නව ජීවිතයක් ලැබුණි. මේ නව සාමාන්‍යයේ ‍රැකියාව යනු ජීවිතයේ උත්කෘෂ්ටය නොවන බව මිනිසුන් වටහා ගත්තාක් මෙන් විය. 

ඇමෙරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 අගෝස්තු මාසය වන විට මිලියන 4.3ක් සිය ‍රැකියාවලින් ඉල්ලා අස් වී ඇත. එය ඇමෙරිකාවේ සමස්ත ශ්‍රම බළකායෙන් 2.9%කි. එසේම එය මෙතෙක් වාර්තා වුණ ඉහළම ‍රැකියා ඉල්ලා අස්වීමේ ප්‍රමාණය බව ද වාර්තා වී ඇත. එක්සත් රාජධානියේ අගෝස්තු මාසයේදී පමණක් ‍රැකියා පුරප්පාඩු මිලියනයක් පමණ ඇතිව තිබේ. මේ ආකාරයෙන් පුරප්පාඩු ඇති වීමට මූලිකවම බලපා ඇත්තේ අනපේක්ෂිත ලෙස සේවකයන් තම ‍රැකියා හැර යාමයි. එසේ වීමට බලපා ඇති හේතු වශයෙන් දැක්විය හැක්කේ පහසුකම් අඩු සේවා තත්ත්ව, කොව්ඩ් ආසාදනය වෙතැයි ඇති බිය මේ අතර ප්‍රධානය. තවත් චූල හේතු බොහෝමයක් තිබිය හැකි යැයි පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් විසින් තව දුරටත් තොරතුරු එක් ‍රැස් කරමින් හිදියි.

අධික වෙහෙස

"මා විශ්වාස කරන්නේ අතිශය වෙහෙසට පත් පුද්ගලයන් දහස් ගණනක් මේ අතර සිටින බවයි. ඔවුන් බහුතරයක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩ කර ඇත. එහෙත් කිසිදු ඇගැයීමක් ලැබී නැත. ඔවුන්ගේ සේවය දිගින් දිගටම අවතක්සේරුවට ලක්ව ඇත." යැයි පවසන්නේ එක්සත් ජනපදයේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ වෙළෙඳ පොළ, රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ. සාගෝර්ස්කි විසිනි. "මීට හේතුව මින් බහුතරයක් සේවකයන් ඉහළ වැ‍ටුප් ගෙවන කර්මාන්තවල සේවයේ නියුතු අය නිසා ඇදහිය නොහැකි තරමේ දීර්ඝ පැය ගණනක් වැඩ කරන්නට සිදුව තිබීමයි. අධික වෙහෙස සහ කළකිරීම හේතුවෙන් ඔවුන් සේවයෙන් ඉවත්ව යන්නට තීරණය කර තිබේ." ඒ ආකාරයෙන් බලන විට දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති ගැටලුවක් කොවිඩ් වසංගත කාලයේ හදිසියේ පුපුරුවා ගොස් ඇති සැටියකි.

මේ ‍රැකියාවලින් ඉල්ලා අස් වීමේ ප්‍රවණතාව හේතුවෙන් කල්පවත්නා වෙනසක් ඇති කළ හැකි යැයි පවසන්නේ ටෙක්සාස්හි A&M කළමනාකරණ සහකාර මහාචාර්ය ඇන්තනි ක්ලොට්ස් විසිනි. එමෙන්ම ක්ලොට්ස් යනු ‘මහා ඉල්ලා අස්වීම’ (Great Resignation) යන වචනයේ නිර්මාතෘය.

එපමණක් නොව ඔහු විසින් 2021 මැයි මාසයේදී මේ මහා සේවක නික්ම යෑම ගැන පුරෝකථනය කළේය. එකී පුරෝකථනාකූලවම සේවකයන් පොකුරු පිටින් ‍රැකියා හැර යෑමට පටන් ගති. එය කෙටි කාලයකදී සමනය වී යනු ඇතැයි සෙසු නිරීක්ෂකයන් පැවසුව ද එය එසේ වූයේ නැත. ‍රැකියාවලින් ඉවත්ව වෙනත් ‍රැකියා කරා යෑම හෝ විවේක සුවයෙන් නිවෙසට වීමට කැමැත්ත පළ කළ ගණන ප්‍රමාණාත්මකව වැඩි වන්නට විය.

මේ අතරම විශ්ලේෂකයන් පවසන්නේ මහා ඉල්ලා අස්වීම පිළිබඳ බලපා ඇති සූක්ෂම කරුණු අපට මඟ හැරී ඇති බවයි. ඔවුන් පවසන ආකාරයට සේවකයන් ඉල්ලා අස්ව ඇත්තේ අප අනුමාන කරන හේතු කාරණා නිසා නොවේ. එකී හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බවට ඔවුන් මත පළ කරයි. එසේම එමඟින් රටක ශ්‍රම බළකායට දැනෙන හානියක් කළ නොහැකි බවත් ඔවුන් පවසයි.

ඒ මේ ඉල්ලා අස් වන්නන් වෙනත් සේවා ස්ථාන කරා යළිත් සේවය පිණිස යන හෙයිනි. මින් ඉතා සුළුතරයක් පමණක් සහමුලින්ම සේවයෙන් විශ්‍රාම ගොස් විවේක සුවයෙන් පසු වීමට අදහස් කරගෙන හිඳියි. ඒ සුළුතරයෙන් බලපෑමක් නැති බවත් ඔවුන් විසින් තව දුරටත් පවසයි.

මේ වන විට එක්සත් ජනපදයේ ශ්‍රම බළකායෙන් 3%ක් ඉවත් වෙමින් සිටිති. නමුත් ඒ සියයට 03ක් යනු සමස්තයෙන් සියයට 30ක් නොවන බවත් මතක තබා ගත යුතුයි කියා පවසන්නේ ජේ. සාගෝර්ස්කි විසිනි. ඔහුට අනුව සේවයෙන් ඉල්ලා අස් වන සේවක පිරිසට වඩා තමන් සේවයෙන් ඉල්ලා අස් විය යුතු යැයි සිතන පිරිස වැඩි බව ඔහුගේ මතයයි.

කැනඩාවේ ඔන්ටාරියෝහි වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පාසලේ සංවිධානාත්මක හැසිරීම් පිළිබඳ මහාචාර්ය මාර්තා මැස්නෙව්ස්කි පවසන්නේ "සාමාන්‍ය තත්ත්වයට වඩා ‍රැකියාවෙන් ඉල්ලා අස් වන ප්‍රමාණය වැඩි මුත් පුවත්පත් සිරස්තල ආදියේ එන ඉල්ලා අස්වීමේ ‍රැල්ලට වග කිව යුත්තේ ඉල්ලා අස් වීමේ චේතනාවෙන් පසු වන්නන්ය."

නිවැ‍රැදි ක්‍රමාංකණය

ඔහුට අනුව මේ නොසන්සුන්තාවට වඟ කිව යුත්තේ ඔවුන්ය. සමාජයේ ඇතිව තිබෙන කතාබහ උත්පාදනය කර ඇත්තේ ද ඔවුන් විසිනි. මීට අමතරව කොවිඩ් වසංගතය හේතුවෙන් මේ මහා සමූහ ඉල්ලා අස්වීමේ ‍රැල්ල ඇති වූවා යැයි පුන පුනා කීව ද ඒ කතාන්දරය පින්තාරු කරන ලද එකක් යැයි සාගෝර්ස්කි පවසයි. ඉල්ලා අස් වූ ප්‍රමාණය නිවැ‍රැදිව ක්‍රමාංකනය කිරීමට ප්‍රමාණවත් දත්ත ඇත්තේ නැත. එක්සත් ජනපද රජය විසින් වසර 2000 පටන් ඉල්ලා අස් වීම් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව කොවිඩ් වසංගතය පැතිරීමටත් පෙරාතුව සේවකයන් ඉල්ලා අස් වීමේ ප්‍රවණතාවක් තිබී ඇත. බොහෝ විට ඒ පිළිබඳ කිසිවකුගේ විශේෂ අවදානයක් යොමුව නැති සැටියකි. සමාජ මාධ්‍ය මඟින් එක වර ඇති කරන ලද ‍රැල්ලක් මඟින් වැඩි අවදානයක් ලැබී ඇත. මේ දැන් මතුව ඇත්තේ එකී අවස්ථාවයි. 2021 අගෝස්තු මාසයේදී වැඩිපුරම ‍රැකියාවලින් ඉවත්ව ඇති මූලිකම අංශය වන්නේ ආහාර සහ ආගන්තුක සත්කාරයි. මේ ක්ෂේත්‍රයේ 157,000කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා අස් වී ඇත. ආහාර හා සේවා අංශයේ සේවයේ නිරත වූවන්ගෙන් 6.8%ක් ඉවත්ව ඇත.

පලපුරුදු වෘත්තිකයන්

සෞඛ්‍ය සේවා ආශ්‍රිතව ද ‍රැකියාවලින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාව වැඩිව තිබේ. අධිකව වැඩ කිරීමෙන් වෙහෙසට පත්ව සිටීම මීට මූලිකම හේතුව ලෙස දැක්විය හැකිය. ඒ සඳහා කොවිඩ් වසංගතය සැබෑ ගැලවුම්කරුවෙක් ලෙස පැමිණියා යැයි කිව හැකිය. දීර්ඝ කාලයක් එකම ‍රැකියාවේ නිරතව සිටීමෙන් වෙහෙසටත්, කළකිරීමටත්, ඒකාකාරී බවටත් ගොදුරු වූ සේවකයන් ඉන් ගැලවීමේ මාර්ගය ලෙස ‍රැකියාවෙන් ඉවත් වීම ‍තෝරාගෙන තිබේ.

කෙසේ වෙතත් හේතු විවිධ වුවත් සමූහ වශයෙන් මෙන්ම සේවකයන් ‍රැකියාවලින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් ලෝකයේ ඇතිව තිබෙන බව පැහැදිලිය.

‍රැකියාවෙන් ඉවත් වීම හෝ නොවීම ස්වාධීන තීරණයක් බව පැවසුවත් ඒ සඳහා සමාජයෙන් යම් පෙලඹවීමක් ඇති වීම කෙරෙහි වැඩි දෙනකු අවධානයට ලක් නොකරයි. ‍රැල්ලට ‍රැකියාවලින් ඉවත් වීමට පවා මේ පසුබිම තුළ හැකියාවක් තිබේ. හේතු රහිතව ‍රැකියා හැර යෑමෙන් සිදු වන අනර්ථයේ තරම ඔවුන්ට වැටහෙන විට ප්‍රමාද වැඩි විය හැකිය. මැස්නෙව්ස්කිට අනුව මේ මහා ඉල්ලා අස්වීමේ ක්‍රියාවලියට සහභාගි වන කාණ්ඩ දෙකකි. "එක් කොටසක් පලපුරුදු වෘත්තිකයන්ය. ඔවුන් වඩා හොඳ ‍රැකියාවකට මාරු වීමටයි මෙසේ ඉල්ලා අස්වන්නේ. අනෙක් වර්ගය වසංගත භීතිකාවෙන් පෙළෙන්නන්. කොවිඩ් වසංගතය වැලඳේ යැයි ඔවුන් බියෙන් පසු වන බැවින් ‍රැකියාවෙන් අස්ව නිවෙසට වී කල් ගත කිරීමට තීරණයක් ගෙන ඇතිවා විය යුතුයි." මේ දෙවර්ගය එකිනෙකට වෙනස් ගතික දෙකක් නියෝජනය කරනු ලබයි. එකිනෙකා පෝෂණය නොකරයි. එහෙයින් ඔවුන්ව එක මට්ටමේ ලා සැලකිය නොහැකිය. 

අතොරක් ආයතනවල උසස් ‍රැකියා කරන බහුතරය නිවෙසේ සිට සේවය කරන කාලය තුළ වඩාත් සුවපහසුවෙන් සේවයේ යෙදුණි. වැඩ කරන පැය ගණනේ පවා නම්‍යශීලී වෙනසක් දැකිය හැකි විය. මේ හේතුවෙන් යළිත් සුපුරුදු ලෙස සේවයට වාර්තා කරන ලෙස දැනුම් දුන් පසුව සේවකයන් තුළ ඇති වූයේ මහත් කලබලයකි. කාර්යාලීය ජීවිතය කේන්ද්‍ර කරගෙන සෙසු සියල්ල පැවතීමෙන් විතැන්ව නිවෙසේ ජීවිතය කේන්ද්‍ර කරගෙන අනෙකුත් සියල්ල හා ගනුදෙනු කිරීමට හුරු වූ බහුතරයක් සේවකයන් ‍තෝරා ගත්තේ වඩා පහසු ජීවිතයයි. අතොරක් සේවකයන් පැය 08 සේවා වැඩ මුරය පවා ප්‍රතික්ෂේප කරන්නට විය. වඩාත් නම්‍යශීලී පැය ගණනක් ඉල්ලා සිටින්නට විය.

සුළු ව්‍යාපාර

ඊට හේතුව නිවෙසේ සිට සේවය කරන කාලය අතරතුර වඩාත් කාර්යක්ෂමවත්, පහසුවෙනුත් වැඩ කරන ආකාරය පිළිබඳ බහුතරයට අවබෝධයක් ලැබීමයි. සේවා ආයතන විසින් සේවකයා සූරා කෑමකට ලක් කරන බව වටහා ගැනීමත් සමඟ සියල්ල කනපිට හැරුණි. ඒ අතරතුර ස්වයං ‍රැකියා සහ සුළු ව්‍යාපාර ඇ‍රැඹීමේ තවත් ‍රැල්ලක් ඇති වුණි. ගෘහාශ්‍රිතව ඇති වුණ මේ සුළු ව්‍යාපාර බහුතරයක් ක්‍රියාත්මක වූයේ අන්තර්ජාලය හරහාය. අන්තර්ජාලගත කුඩා ව්‍යාපාර තුළ වූයේ ක්ෂණිකව මුදල් ඉපැයිය හැකි අතිශය වේගවත් ස්වභාවයකි. නව සාමාන්‍ය ඇතුළත මේ වෙනස්කම් යටිබිම්ගතව ඇති වෙමින් එක්වරම මහා සමාජයට මුදා හැරුණා විය හැකිය.

එමෙන්ම ඉහළ වැ‍ටුප් ලැබූ සේවකයන් ලොක්ඩවුන් කාලය ඇතුළත ලැබූ වරප්‍රසාද පහසුවෙන් අමතක කර නොදැමීය. මෙතෙක් කාලයක් නම්‍යශීලීව ගත කළ ජීවිතයට යළිත් යෑමට ‍රැකියාව බාධාවක් නම් ඔවුන් තම ‍රැකියාවෙන් ඉවත්ව යෑමට තීරණ ගනු ලැබීය. ඒ සමඟම තමන් අපේක්ෂා කරන නම්‍යශීලීත්වය සහිත වෙනත් ‍රැකියා සඳහා ඔවුන්ට ආරාධනා ද ලැබුණි.

එහෙත් සාමාන්‍ය වැ‍ටුප් ලැබූ සේවකයන්ගේ තත්ත්වය එසේ නොවීය. කොපමණ ‍රැකියාව හැරදා යෑමේ වුවමනාව තිබූවත් ආර්ථික අපහසුතා මත ඔවුන්ට එසේ කළ නොහැකි විය. එහෙයින් මේ මහා ‍රැකියා හැර යෑමේ ප්‍රවණතාව හමුවේ ඔවුන් යම් ප්‍රමාණයකට අසරණව සිටිනු දක්නට හැකි විය.

බීබීසී ඇසුරෙනි 
කාංචනා අමිලානි

නව අදහස දක්වන්න