හිතුවක්කාර ආක්‍රමණිකයා | දිනමිණ

හිතුවක්කාර ආක්‍රමණිකයා

ෆවුස් මොහොමඩ්

ඔමික්‍රොන් ලොවම ආක්‍රමණය කරමින් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකා කලාපයෙන් බිහි වූ බව කියන මේ කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය මීට පෙර හඳුනා ගත් ලොව සියලු කොවිඩ් ප්‍රභේදවලට වඩා වෙනස් බවය. එමෙන්ම එහි අන් කිසිදු ප්‍රභේදයකට වඩා විකෘතිතා අධික බවය. එසේ නම් මේ සුළුකොට තැකිය හැකි කාරණාවක් නොවේ.

පුරා මාස 20ක පමණ කාලයක් කොවිඩ් වයිරසයෙන් බැට කෑ ලෝක වාසී ජනතාවට දැන් සිදු වී ඇත්තේ එහි තවත් ප්‍රභේද රැසකට මුහුණ දීමටය. පසුගිය වසරේ මාර්තුවේ සිට විවිධ නම්වලින් ජන ජීවිතවලට එබිකම් කළ කොවිඩ් වයිරසයේ ප්‍රභේද ගණනාවක්ම යටපත්ව ගියේ ජීවිත රැසක් උදුරාගෙනය.

පෙනෙන හැටියට ඔමික්‍රොන් ඊට වඩා ඔබ්බට යන්නකි. එය තවම ආරම්භ වූවා පමණි. මේ ටික දිනට ආර්ථික වශයෙන් ද, හමුදාමය වශයෙන් ද ලොව බලවත් යැයි කියන අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් බියෙන් ඇළලී යන තරමට ඔමික්‍රොන් බලවත් වී තිබේ.

දකුණු අප්‍රිකාවේ වෛද්‍ය විශේෂඥයන් සහ ලොව ඇතැම් රටවල වසංගත රෝග සම්බන්ධ විශාරදයන් කිහිප දෙනකු පසුගියදා කියා සිටියේ ‘කියන තරම් යකා කළු නැති’ බවකි. එහෙත් සුනාමියකට සමානව මේ ඔමික්‍රොන් මාරයා රටවල් ආක්‍රමණය කරමින් සිටින අයුරු වාර්තා වෙද්දී ඒවා හරසුන් ප්‍රකාශ බවට පත්වෙමින් තිබේ.

දකුණු අප්‍රිකාවේ ඔමික්‍රොන් ප්‍රභේදය ආශ්‍රිතව ඊයේ සොයා ගත් වැදගත්ම කාරණාව වන්නේ මෙය කොවිඩ් වයිරසය ආසාදනය වූවන්ට ඔමික්‍රොන් ප්‍රභේදයට ගොදුරු වීමේ ඉහළ අනුපාතයක් පෙන්නුම් කරන බවය. අනිත් අතට කිසිදු එන්නතකට ප්‍රතිචාර නොදක්වන හිතුවක්කාර ප්‍රභේදයක් බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ කොවිඩ් වයිරසයෙන් ජන ජීවිත බේරා ගැනීමට මාස ගණනාවක් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ලොව බොහෝ රටවල විද්‍යඥයන් සොයා ගත් එන්නත් ප්‍රතිශක්තිකරණය ඔමික්‍රොන් ප්‍රභේදයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවය.

ඔමික්‍රොන් ප්‍රභේදය ලොවට හෙළිදරවු වී සතියකට පසුවත් විද්‍යාඥයන් බියෙන් පසුවන්නේ මෙය කොවිඩ් වයිසරයේ වඩාත්ම භයානක ප්‍රභේදය වනු ඇතැයි සැක පහළවීම නිසාය. එය කොවිඩ් වයිරසයේ විකෘති ප්‍රභේදයකි. එය දැනටමත් දකුණු අප්‍රිකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. එය නිරීක්ෂණය කළ යුරෝපයේ වසංගත රෝග විද්‍යාඥයන් කියා සිටියේ ඉදිරි මාස කිහිපය ඇතුළත යුරෝපයේ ස්වරූපය එහෙම පිටින්ම වෙන් වනු ඇති බවය.

පෙරේදා වන විට මේ ආගන්තුකයා මහාද්වීප 06ක රටවල් 25කට ඇතුළු වී තිබිණි. නයිජීරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයකුට ද ඔමික්‍රොන් වයිරසය වැළැඳී ඇති බව අනාවරණය වූයේ ඊයේ දිනයේදීය. විද්‍යාඥයන් පවසන්නේ එය ලොව අස්සක් මුල්ලක් නෑර පැතිරීමට ඒ හැටි කාලයක් ගත නොවනු ඇති බවය. ඉන් පැහැදිලි වන්නේ වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වයිරසයෙන් පීඩාවට පත් ජනතාවට මෑතක් වන තුරු ලොව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තිබූ බලාපොරොත්තුව ඔමික්‍රොන් ප්‍රභේදයට යට වී ඇති බවය.

කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ට නැවත එය ආසාදනය වීමේ අවදානම ඇති බව විද්‍යාඥයෝ වසංගතයේ ආරම්භයේ සිටම දැන සිටියහ. කොවිඩ් ආසාදිතයන්ගෙන් විශාල ප්‍රමාණයක් දැනටමත් සුවය ලබා සිටියත්, ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 260කට වැඩිය. සැබෑව නම් ලොව ආරක්ෂා කිරීමට ඔවුන් සතුව කවරාකාරයේ විසඳුම් තිබුණත් ඔමික්‍රොන් හමුවේ ඒ සියල්ල පරාජය වනු ඇතැයි විද්‍යාඥයෝ පවා දෙගිඩියාවට පත්ව සිටිති.

දකුණු අප්‍රිකාවේ විද්‍යාඥයන් කියන පරිදි එරට ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධව මෙතෙක් එරට කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් හෝ සමාලෝචනයක් සිදු කර නැත. ඔවුන් නම් කියන්නේ බීටා හෝ ඩෙල්ටා වැනි කොවිඩ් ප්‍රභේද තරම් මෙය බරපතළ නොවනු ඇතැයි කියාය.

එය අනුමාන වශයෙන් කරනු ලැබූ ප්‍රකාශයක් පමණි. එවැනි ප්‍රකාශ හුදු ප්‍රලාප බවට පත්වන්නේ තත්ත්වය උත්සන්න වූ විටදීය. එවැන්නක් දැනටමත් සිදු වී තිබේ. දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පසුගියදා වාර්තාවක් මගින් කියා සිටියේ නොවැම්බර් මාසයේ සිට කොවිඩ් වයිරසය ආසාදනය වීමේ ධනාත්මක ප්‍රතිඵලවල (පීසීආර් පොසිටිව් රිපෝට්ස්) සාම්පල මත ජාන විශ්ලේෂණයක් සිදු කළ විට ඉන් හතරෙන් තුනකම ඔමික්‍රොන් නව ප්‍රභේදය තිබූ බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපයීය කාර්යාලය විසින් සිදු කරනු ලැබූ ඔන්ලයින් සාකච්ඡාවකදී දකුණු අප්‍රිකානු විද්‍යාඥයෝ එවැනි වාර්තාවක් ඉදිරිපත් කළහ. ඒ අනුව එරට ජනගහනයෙන් 40%කට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති අතර, කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ගේ ප්‍රතිශතය 30%කි. එහෙත් තවමත් නව රෝගීන් වාර්තා වෙමින් තිබේ.

ලොව බොහෝ රටවල් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන සමඟ සංසන්දනය කරද්දී දකුණු අප්‍රිකාවේ ආසාදිතයන්ගේ ප්‍රමාණය කුඩා වූවත් කොවිඩ් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන රටකි. නොවැම්බරයේ මුල් භාගයේදී එහි දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව 260ක් පමණ විය. නොවැම්බර් 30 වැනිදා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,373ක් වූ අතර, ඊට පසු දින එනම් දෙසැම්බර් 01 වැනිදා රෝගීන් 8,561ක් වාර්තා විය. දෙසැම්බර් 02 වැනිදා එය 11,535ක් බවට පත් විය.

කොවිඩ් වයිරසයේ මීට පෙර නොතිබූ විකෘතිතා දුසිම් ගණනක් ඇති බවට විද්‍යාඥයන්ම කියන මේ අමුතු ප්‍රභේදය මීට පෙර හඳුනා ගත් ප්‍රභේදවලට වඩා වැඩි වේගයෙන් සම්ප්‍රේෂණය වනු ඇතැයි ද කියයි. නමුත් එය තහවුරු කිරීමට සාක්ෂි තවම ප්‍රමාණවත් නැති බවකුත් කියයි.

ඔවුන් ලෝක ප්‍රජාව අතර තබා ඇත්තේ මෙතෙක් විසඳුමක් නැති ගැටලුවකි. ඊට නිසි පිළියම් සෙවීමට කෙතරම් දුර යා යුතු දැයි ඔවුහු නොදනිති. නමුත් නොකියා කියන්නේ මේ ආගන්තුක ප්‍රභේදය සිතුවාටත් වඩා බරපතළ වනු ඇති බවය.

නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරෙනි

නව අදහස දක්වන්න