ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහනක් | දිනමිණ

ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහනක්

ග්‍රාමීය මට්ටමේ සිටින ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රිඩිකාවන් හඳුනාගැනීමට අප සමඟ අත්වැල් බැඳගන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පවසයි. 
 
ජාතික ක්‍රීඩා සභාවේදී  ඊයේ (04) පැවති ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන (Talent Identification Programme) පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. 
 
ක්‍රීඩා දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ග්‍රාමීය මට්ටමින් බිහිවන නමුත්, ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීමටත්, සංවර්ධනය කිරීමටත් සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම තුළ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගකාරි ක්‍රීඩාවෙන් ඉදිරියට යාමක් සිදු නොවන බව නිරික්ෂණය වේ.
 
ඒ අනුව, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිවයිනපුරා විසිර සිටින සහජ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් දරු දැරියන් හඳුනාගනිමින්, විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගනිමින් ‘ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන’ (Talent Identification Programme) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 
 
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් කුමන වයස් සීමාවක වුවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සිදු කළ හැකි අතර ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වේ.
 
01 වන අදියර 
මෙහිදී ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩක ක්‍රීඩාකාවන් සහ ක්‍රීඩාවේ නියුතු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම  සිදුවේ. මේ සඳහා ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි සහ සංවර්ධන නිලධාරි සේවාවන් හි ඒ ඒ ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනේ.
 
02 වන අදියර
ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් හඳුනාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා ක්‍රීඩා නිලධාරි, තරුණ සේවා නිලධාරි, ගුරු උපදේශක (ක්‍රීඩා) යන නිලධාරින්ගේ සහය ඇතිව මූලික යෝග්‍යතා පරීක්ෂණයක් සහ ක්‍රීඩාව අනුව විශේෂිත ශිල්පීය ක්‍රම සම්බන්ධව පරීක්ෂා කර උපරිම දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සිදු කරනු ලැබේ.
 
අදාළ පරීක්ෂණ වලින් තෝරා ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කර ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරි, ක්‍රීඩා ගුරුවරුන් සහ ස්වෙච්ඡා පුහුණුකරුවන් මගින් ක්‍රීඩාවන් අනුව විධිමත් පුහුණුවක් ලබාදිම දෙවන අදියරේ දි සිදුවේ.
 
පාසල් අධ්‍යාපනය ලබන සුවිශේෂි දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනු ලැබුවහොත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ප්‍රදේශයට ආසන්නව ම පිහිටා ඇති ක්‍රීඩා පාසල වෙත යොමු කර ක්‍රමානුකූල විධිමත් පුහුණුවක් ලබාදීම අපේක්ෂා කරනු ලැබේ. 
 
එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ දී හඳුනාගන්නා සුවිශේෂි දක්ෂතා පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් සංචිතය වෙත යොමු කර පුහුණුව ලබාදීම සිදු කරනු ලැබේ.
 
3 වන අදියර 
මෙහිදී දිස්ත්‍රික් පුහුණුකරුවන් (පළාත් සහ ක්‍රීඩා දෙපාර්තමේන්තු) , දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල පුහුණුකරුවන් සහ සුදුසුකම්ලත් ස්වෙච්ඡා පුහුණුකරුවන්ගේ සහය ලබාගනිමින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මගින් දිස්ත්‍රික් සංචිත සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩාවට අදාළ පුහුණුකරුවන් උපයෝගී කරගනිමින් වසර 02ක සැලසුමකට අනුව අඛණ්ඩ පුහුණුවක් ලබාදීම සිදු කරනු ලැබේ. 
ලබාදෙන අයදුම් පත්‍රය අනුව මේ යටතේ හඳුනාගනු ලබන සුවිශේෂි දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කරගැනීම සිදුකරනු ලබයි.
 
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2021-12-11 දින ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
 
එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 
අද අපි මේ මාධ්‍ය හමුව සංවිධානය කළේ මේ වසරේ සිට සෑම වසරකම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දක්ෂයින් හදුනාගැනීමේ වැඩසටහන (Talent Identification Programme) පිළිබදව දැනුම්වත් කිරීම සදහායි.
 
ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විශාල දක්ෂතා තිබෙන පිරිසක් අපේ රටේ ග්‍රාමීය මට්ටමේ ඉන්නවා. අමාත්‍යාංශය සහ  අමාත්‍යවරයා විදියට අහන්න දකින්න ලැබෙන්නේ ග්‍රාමීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළියට ගේන්න මොකක්ද තිබෙන වැඩපිළිවෙල කියන කාරණය.
 
ක්‍රීඩා සංගම් හුදකලාව යම් යම් අවස්ථාවල දක්ෂයින් හොයාගෙන යනවා. අපි තීරණය කළා “ Can ”  ව්‍යාපෘතියේ “ගමට පුළුවන්” තේමාව යටතේ රට හා ලෝකය ජයගන්න පුලුවන් තරුණ පිරිසක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. 
 
ඔබට මතක ඇති මීට පෙර ග්‍රාම සේවා වසම් මට්ටමින් ග්‍රාම සේවක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් “GS Meet” පැවැත්වූවා. ඒ “GS Meet” එක හරහා ගොඩ නැගුණු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි මේ රටේ ඉහළ ජයග්‍රහණ ලබාගෙන ආසියානු හා ලෝක ශූරතා, ඔලිම්පික් දක්වා ගියේ.  
 
ඒ වගේම ඔබේ ක්‍රීඩා දක්ෂතා වීඩියෝගත කර අපේ සමාජ මාධ්‍ය හරහා #Can# tag එක වගේම අපේ අමාත්‍යාංශයේ සමාජ මාධ්‍ය පිටු ටැග් කර  අප වෙත යොමු කරන්න.  ඒ අනුව අපි ඔබව සම්බන්ධ කරගෙන ඒ ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත සුදුසු සංචිතය වෙත යොමු කරනවා. මෙය ලෝකයේ ඕනෑම තැනක සිටින ශ්‍රී ලාංකිකයෙකුට විවෘතයි.
 
ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩකයින් වගේම ක්‍රීඩා සංගම් ශක්තිමත් කරන්නත් සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ සෑම වැඩසටහනකටම ක්‍රීඩා සංගම්වල සහභාගීත්වයත් අපි බලාපොරොත්තු වෙනවා. 
 
මෙම දක්ෂයන් හදුනාගැනීමේ වැඩසටහන සදහා වයස් සීමාවක් නැහැ. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට මෙන්ම ගම තුළ ක්‍රියාශීලි සමාජයක් ගොඩනගන්න මේ තුළ හැකියාව ලැබෙනවා. මෙමගින් හඳුනාගන්නා දක්ෂයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිස්ත්‍රික් මට්ටමටත් ඉන් ඔබ්බට පළාත් මට්ටමට ගෙනවිත් දක්ෂ ක්‍රීඩකයින් ජාතික සංචිතයට ගෙන එන්න කටයුතු කරනවා. 
 
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව සමග එකතු වී ක්‍රීඩා රෙගුලාසි කෙටුම්පත් කර තිබෙනවා. ලබන වසරේ මුල් කාර්තුවේ සිට අපි ඒ රෙගුලාසි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම ක්‍රිඩා සංගම් හා සම්මේලන වෙත එය ලිඛිතව යොමු කර තිබෙනවා. එම රෙගුලාසි මාස 06 ක් ක්‍රියාත්මක කර පනතක් ලෙස ක්‍රීඩා පනතට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නිළවරණ සදහා පළාත් සංචිත පවත්වාගෙන යනවා කියන කාරණය අපිට ලැබුණු චෝදනාවක්. නව රෙගුලාසි අනුව ජාතික සංචිතය නියෝජනය කිරීමට නම් පළාත් සංචිතය නියෝජනය කළ යුතු වෙනවා. 
 
මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා පළාත් අතර හොද තරගයක් පවත්වන්න. ලීග් තරගාවලියකදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත්වලට යාමට අවශ්‍ය නැහැ පළාත් කීපයක් එකතුවෙලා හොද කණ්ඩායමක් හදාගන්න පුලුවන්. මේ හරහා හොද තරඟාවලියකට සම්බන්ධවීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
 
ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අන්තර් පළාත් තරගාවලි මේ සංචිත හරහා පවත්වන්න. මේ තුළින් සැගවුණු ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමට හැකිවෙනවා. 
 
මෙහිදී තමන්ට ආවේණික වූ එක් ක්‍රීඩාවකට පමණක් සීමා විය යුතු නැහැ. ඕනෑම ක්‍රීඩාවක් සදහා තමන්ට මාරු විය හැකි ආකාරයට කටයුතු කිරීම තමා වඩාත් සුදුසු වෙන්නේ. තමන්ට පුලුවන් කියන දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන වැඩ පිළිවෙල සමග හොද දක්ෂ පිරිසක් මේ සිස්ටම් එක ඇතුළට ගේන්න අපිට හැකි වේවි. 
 
මළල ක්‍රීඩා වලින් උසස් දක්ෂතා සංචිතයට අපි ක්‍රීඩකයින් 60 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. සාධනීය මට්ටම සපුරන අය අපි ඇතුළට අරගෙන තිබෙනවා. අලුත් ක්‍රීඩකයින්ටත් තමන්ගේ පරිසාධන මට්ටමට ළඟාවීම තුළ මෙයට ඇතුළත් විය හැකියි. 
 
ඉදිරියේදී දක්ෂතා මත පදනම්ව දීමනා සහ ගෙවීම් සිදුකරනවා. දක්ෂතා සපුරන්න බැරි වුණොත් ගිවිසුමෙන් ඉවත් වී දක්ෂතා තිබෙන ක්‍රීඩකයෙක් ඉදිරියට යවනවා. 
 
දක්ෂතා හදුනාගැනීමේ වැඩසටහන සදහා ඉතාම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ගොඩනගන්න අපිට හැකි වේවි. මේ සදහා වයස් සීමාවක් නැහැ. පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ද මෙය විවෘතයි. 
 
අපි මෙම වැඩසටහන එක් මාධ්‍ය ආයතනයකට පවරන්නෙ නැහැ. ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ග්‍රාමීය මට්ටමේ ඇති එකම වැඩසටහන මෙය වන බැවින් ජාතික වගකීමක් ලෙස සලකා සියලුම මාධ්‍ය ආයතන මේ සමග අත්වැල් බැද ගනීවි යැයි මා විස්වාශ කරනවා’’ යැයි අමාත්‍යවරයා පැවසීය.
 
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 
 
 

නව අදහස දක්වන්න