තෙවැනි බැඳුම්කර නඩුවේ රවී ඇතුළු දසදෙනාට එරෙහි චෝදනා 22න් 11ක් ඉවතට | දිනමිණ

තෙවැනි බැඳුම්කර නඩුවේ රවී ඇතුළු දසදෙනාට එරෙහි චෝදනා 22න් 11ක් ඉවතට

තෙවන මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් වූ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනාට එරෙහි අධි චෝදනා විසි දෙකෙන් 11ක් ඉවත් කිරීමට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණය ඊයේ (6) නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව 2016 මාර්තු 31 දින කළ තෙවන බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි පවසමින් නීතිපතිවරයා පැවරූ නඩුවේ අධි චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඔ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එකමතිකව තීරණය කරමින් මෙම නියෝගය කළේය.

පළමු චෝදනා 11න් විත්තිකරුවන් නිදහස් කළද 12වැනි චෝදනාවේ සිට 22වැනි චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට හැකි බව පෙන්වාදුන් විනිසුරු මඩුල්ල චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයට එරෙහිව අභියාචනය කිරීමේ බලය හා සංශෝධිතධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද පැවසීය. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

තෙවන බැඳුම්කර වෙන්දේසියට එරෙහිව චෝදනා 22ක් යටතේ නීතිපතිවරයා පැවරූ නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිමය හැකියාවක් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය. මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස පර්පෙචුවෙල් ට්‍රේසරීස් සමාගම නම්කර ඇති බැවින් භෞතිකව අධිකරණය ඉදිරියේ නැති විත්තිකරුවකුට එරෙහිව අධි චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව සැලකිල්ලට ගනිමින් නීතිමය කරුණු මත මෙම අධි චෝදනා ඉවත්කර ඇත. මෙම නඩුව රඳාපවතිනුයේ පළමු චෝදනාව මත බවත්,1 සිට 11 දක්වා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බැවින් 12 සිට 22 දක්වා සෙසු චෝදනා පවරා පවත්වාගෙන යෑමට පැමිණිල්ලට නොහැකි බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව අධිකරණයට දන්වා සිටියේය. නඩුවට පාදක වූ බැදුම්කර කොමිෂන් සභා වාර්තාව වාර්තාවක් පමණක් බව හෙතෙම පැවසීය.

වැඩිදුර විභාගය ජනවාරි 26 දිනට කල් තැබිණි.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න