කෙටි කලකදී ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන පෙරට යන්න මේ රටේ මාධ්‍යය අපට විශාල ශක්තියක් වුණා | දිනමිණ

කෙටි කලකදී ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන පෙරට යන්න මේ රටේ මාධ්‍යය අපට විශාල ශක්තියක් වුණා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයට තෙවසරක් පිරුණු දා ඇමැති ජී.එල්. කියයි

පක්ෂයක් ලෙස ඉතා කෙටි කාලයකදී ලබා ඇති අද්විතීය ජයග්‍රහණ වෙනුවෙන් මේ රටේ මාධ්‍යය දැවැන්ත ශක්තියක් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානයට වසර තුනක් සම්පූර්ණ වී තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා අපේ රටේ මාධ්‍යවේදීන් ජනතාව දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් කරන අද්විතීය කාර්යභාරය අගය කරන බවද ඉතා වැදගත් අත්‍යවශ්‍ය අංශයක් ලෙස මාධ්‍ය අංශය හැඳින්විය හැකි බවද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (06) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර මේ වන විට වසර තුනක් සම්පූර්ණ වන අතර එය සැමරීම වෙනුවෙන් මෙය සංවිධාන කර තිබිණි.

අතීතය සම්බන්ධයෙන් හැරී බලන්නේ නම් මේ වසර තුනක කාලයේදී සිද්ධීන් රැසක් අපේ රටේ සිදු වූ බවද ඉතා ප්‍රබල ජනමතයක් ගොඩනඟමින් ඵෙතිහාසික ජයග්‍රහණ ලබාගැනීමට හැකියාව ලැබුණු බවද සිහිපත් කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මැතිවරණ රැසක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබී තිබෙන අතර මේ සියල්ල ඉබේ සිදුවූවක් නොවන බවද සඳහන් කළේය.

2016 වසරේ දී බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණශීලීව මේ පක්ෂය නිර්මාණය කළ අවස්ථාවේ මෙතරම් ගමනක් යන්න හැකිවෙයි කියා කිසිවකු නොසිතූ බව පෙන්වා දුන් ඇමැතිවරයා ඒ වෙනුවෙන් සාධක කීපයක් ඉවහල් වී තිබෙන බවද සාමුහික ශක්තිය ඒ වෙනුවෙන් බලපා තිබෙන බවද පැවසීය.

අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය තම පක්ෂය සතු බව සිහිපත් කළ ඇමැතිවරයා ඒ වෙනුවෙන් මේ රටේ මාධ්‍ය විශාල ශක්තියක් වූ බවද ඒ සැමට පක්ෂයේ ගෞරවය පිරිනමන බවද සඳහන් කළේය. මේ වනවිට ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා මෙය ගමනක අවසානය නොව ආරම්භය පමණක් බවද තවදුරටත් ජයග්‍රහණ නුදුරු අනාගතයේ දී අපේක්ෂා කළහැකි බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාලක ලේකම් රේණුක පෙරේරා, මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී තිලක් තේනුවර සහ මාධ්‍ය ප්‍රධානී සිසිර මුණසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න