බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 05 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට | දිනමිණ

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 05 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (06)  නාවික හමුදා භාරයට ගෙන ඇති බව නිවේදනය කර ඇත
 
දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ  දුරින් වූ දකුණු  මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  මෙම බීඩි තොගය සොයා ගෙන ඇත
 
සැකකටයුතු  බහුදින ධීවර යාත්‍රාවක් (IMUL - 790- KLT ) පරීක්ෂාවට ලක් කිරීමේ දී එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ උර 357ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සොයා ගෙන ඇත.
 
 අනතුරුව, සැකකරුවන් පස්දෙනෙකු (05) සමඟින් එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
 
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙ‍ම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 66ත් අතර වයසේ පසුවන කෝට්ටගොඩ, දික්වැල්ල, දෙනියාය සහ හුංගම යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, බහුදින යාත්‍රාව සහ බීඩි කොළ තොගය  ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ගාල්ල වරාය පොලිසිය වෙත භාර දීමට නියමිතව ඇත.
 
 
 
 
 

නව අදහස දක්වන්න