සතොස මිළටම සමූපකාරයෙන් සහල් | දිනමිණ

සතොස මිළටම සමූපකාරයෙන් සහල්

සතොස ආයතනයේ මිලගණන්වලටම සමූපකාර සමිති මගින්ද පාරිභෝගිකයන්ට සහන මිලට සහල් ලබා දෙන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.
 
ඉදිරි දිනවල  සහල් තොග ප්‍රමාණවත්ව ආනයනය කිරීමෙන් පසු මෙම සහනය නිසි ලෙස පාරිභෝගිකයන්ට හිමිවන බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි.
 
ඇතැම් සමූපකාරවල සාමාන්‍ය කඩවලටත් වඩා වැඩිමිලට භාණ්ඩ විකුණන බව වාර්තා වී තිබෙන බවත් මෙවැනි  සමූපකාර නිසි පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවත්  රාජ්‍ය ඇමැතිවරයා කියයි.  
 
අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අලගියවන්න මහතා පෙන්වා දුන්නේ රුපියල් බිලියන 75 ක්වු වැඩිම වාර්ෂික පිරිවැටුම සමූපකාර ජාලයෙන් හිමිවන බවයි.
 
'සහල් ආනයනය කිරි‍මේ  වගකීම දරන්නේ වෙ‍ළඳ අමාත්‍යංශය යි.දැනට ආනයනය කර ඇති සහල් ප්‍රමාණවත් වන්නේ සතොස අලෙවියට පමණයි.සමුපකාර සමිති වෙත මෙයින් ලැබී තිබුනේ සීමිත ප්‍රමාණයක් පමණයි.
 
වැඩිම වාර්ෂික පිරිවැටුමක් ලැබෙන්නේ සමූපකාර ජාලයෙන් .එය බිලියන 75 ක්.මෙරට ප්‍රධාන සුපිරි වෙළෙදසල් දෙක මගින්ද ලැබෙන්නේ රුපියල් බිලියන 55 ක් සහ 60 ක් පමණයි.  අපේ සමුපකාර ප්‍රාදේශික 2700ක් තුළින් මේ පිරිවැටුම ලැබී තිබෙනවා.2022 අයවැය යෝජනා මගින් මෙම සමුපකාර සමිති ප්‍රමාණය 5000-6000ක් දක්වා වර්ධනය කිරීමට යෝජනා වී තිබෙනවා.නමුත් කවුරුත් සමූපකාර සමිති කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැහැ.දැනට තිබෙන සමුපකාර සමිතිවලින් 60%ක් පමණ ඉතා හොදින් නිසි ප්‍රමිතියෙන් යුතුව ක්‍රියාත්මක වනවා. 40% ක් පමණ වෙනත් අරමුණුවලින් කටයුතු කරන බව වාර්තාවී තිබෙනවා.
 
සුළු ප්‍රමාණයක් කරන වැරැදි නිසා සමස්ත සමූපකාර සමිති ගැනම විවේචනය කිරීම වැරැදියි.ඇතැම් සමූපකාර සමිති කඩවලටත් වඩා අධික මිලගණන් යටතේ භාන්ඩ විකුණන බව සත්‍යයක්.එය නිවැරදි කිරීම සඳහා අප පියවර ගණනාවක් ගෙන තිබෙනවා.'යැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
 
 
(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)
 
 

නව අදහස දක්වන්න