කෙටියි හුඟයි | දිනමිණ

කෙටියි හුඟයි

 

ඒ ක්‍රි. ව. දෙදහස් දහතුන අවුරුද්දේ මුල් භාගයයි. මම නීතිඥ එස්. ජී. පුංචිහේවා හමුවීමට කොට්ටාව නගරාසන්නයේ පිහිටි ඔහුගේ නි‍ෙවසට ගොස් සිටියෙමි. ඒ අවුරුද්දේ පුංචිහේවා මහතාට දිවි ගමනේ අසූ වැනි විය සපිරෙන බැවින් ‘එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ’ නමින් උපහාර කෘතියක් නිකුත් කිරීමට සැලසුම් කොට තිබිණි. එහි සම සංස්කාරක ‘තිඹිරියාගම බණ්ඩාර’ සහෝදරයා පුංචිහේවාගේ සටන්කාමී ගුරු ජීවිතයේ මතකය ආවර්ජනය කරමින් ලිපියක් ලියන්නැයි මට ආරාධනා කළේය. මා කොට්ටාවේ ඔහුගේ නිවෙසට ගියේ ඒ වෙනුවෙනි.

අප කතාබහ කරන අතර පුංචිහේවා මහතා මෙසේ කීවේ ය.

“එදා ගුරුවරුන්ට කොන්දක් තිබුණා. අසාධාරණයට එරෙහි වෙන්ට ශක්තියක් තිබුණා. කනගාටුයි. අද ගුරුවරුන්ට එහෙම කොන්දක් නෑ.”

සැබවි. අපේ අත්දැකීම ද මෑත කාලයේ දී ගුරුවරු අසාධාරණයට එරෙහි නොවී හිස බාගෙන සිටි බවය. එහෙයින් අධ්‍යාපන බලධාරීන්ට ද රිසිසේ ඔවුන් මඩින්නට හැකි වූ බව ය. එහෙත් ඒ ගුරුවරු ම මෑත කාලයේ එක්වන ම පිබිදී දිගු වර්ජන රැල්ලකට සහභාගී වූ බව ද ඒ හා ම සිහිපත් වෙයි.

එස්. ජී. පුංචිහේවා හෙවත් වග වාසගම් සහිතව කියන විට සෝමපාල ගාර්දියේ පුංචිහේවා මාතර තොටමුණ ගමේ උපන්නෙකි (තොටමුණ නිල්වලා නදිය මුහුදට වැටෙන තැන පිහිටි ගමකි). 1956 දී ගුරු අවසාන විභාගයට පෙනී සිටි පුංචිහේවා 1957 දී ගුරු පත්වීමක් ලද්දේ ය. ඒ මාතර පෙදෙසට නම් නොවේ. බොහෝ දුර ඈත නුවර කලාවියේ (අනුරාධපුර දිස්ත්‍රික්කයේ) පිහිටි ‘නොච්චියාගම රළපනාව රජයේ පාසලට’ ය. බලපිටිය ගුරු ඇබෑසි විදුහලේ දී පුහුණු වීමෙන් පසුව ද ඔහු අනුරාධපුරයේ විසල් පුස්තකාලය සිහිපත් කරගෙන අනුරාධපුරය ම ඉල්ලූ විට ඔහුට පත්වීම ලැබුණේ අනුරාධපුරයෙන් බොහෝ එපිට පදවිය ආසන්නයේ වූ ‘හේරත් හල්මිල්ලෑව’ පාසලට ය. ඒ දෙතැනම තනි ගුරුවරයා වූ ඔහුට මුල්ගුරු පදවිය දරන්නට ද සිදුවිය. හේරත් හල්මිල්ලෑවේ වෙසෙන සඳ 1965 මැතිවරණය පැමිණියේ ය. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ ය. පරාජයට පත් වුණු පක්ෂයේ අපේක්ෂකයාට ආධාර කළේ යයි පුංචිහේවා මුල් ගුරුවරයාට චෝදනාවක් එල්ල විය. ගම්වැසියන් ගුරුවරයා මාරු නොකරන්නැයි ඉල්ලීම් කළ ද අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල, පුංචිහේවා අම්පාරට වීසි කළේ ය.

පුංචිහේවාට ලැබුණේ ‘බණ්ඩාරදූව’ නමැති පාසලයි. එය උහන නගරයට නුදුරු කොහොඹාන කඩපොළේ සිට කි.මී. 10ක් පමණ එපිටින් පිහිටියේ ය. එදවස ගමන යා යුතු වූයේ පයිනි. බණ්ඩාරදූවේ ද එකම ගුරුවරයා මෙන් ම විදුහල්පති ද වූයේ අපේ කතානායකයා ය. මාස කීපයකින් අලුත් ශිෂ්‍ය ගුරුවරයකු පැමිණියේය. ඔහු පසුව ලේඛකයකු ලෙස ප්‍රකට වූ ‘පියසේන කහඳගමගේ’ ය.

බණ්ඩාරදූවේ ලොකු මහත්තයා වූ පුංචිහේවාට අම්පාරේ දී ජාතික ගුරු සංගමයේ දිස්ත්‍රික් ලේකම් ධුරය ලැබිණි. එතැන් සිට ඔහුට වැඩ වැඩිවිය. උඩඟු නිලධාරීන් හා ගැටෙන්නට සිදුවිය.

එදවස අම්පාරේ අධ්‍යාපන බලධාරියා වූ අධ්‍යාපන නිලධාරියා ගුරුවරුන්ගේ අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකළ අහංකාර මනුස්සයෙක් විය. ගුරු ගැටලු වෙනුවෙන් පුංචිහේවාට නිතරම ඔහු හා ගැටෙන්නට සිදු විය. අධ්‍යාපන නිලධාරි මේසය ඉදිරිපිට පුටු තබා තිබිණි. එහෙත් ඔහු කිසිදු ගුරුවරයකුට අසුන් ගන්නැයි නොකියයි. ගුරුවරු නිලධාරි මේසය ඉදිරිපිට සිටගෙන සිය ගැටලු ඉදිරිපත් කරති. එහෙත් ගුරු සංගම් ලේකම් පුංචිහේවා අනාරාධිතව ම වාඩිවෙයි. දවසක් පුංචිහේවා පැමිණෙන විට නිලධාරි මේසය ඉදිරිපිට වූ පුටු ඉවත් කොට තිබිණි. අපේ කතානායකයා වෙනත් තැනකින් පුටුවක් ගෙන නිලධාරි මේසය ඉදිරිපිට තබා වාඩි විය. නිලධාරි තැන හිතුවක්කාර මුල් ගුරුවරයා දෙස බැලුවේ කෝපයෙනි.

“සමාන සුදුසුකම් තියන ගුරුවරු දෙදෙනෙක් ඒ අයගේ කැමැත්ත නැතිව පාසල් දෙකක් අතර මාරුකළේ ඇයි?” පුංචිහේවා සිය මුල් ම ගැටලුව ඉදිරිපත් කළේ ය.

“තමුසෙ කියන දේ කරන්න මම මේ පුටුවට ආවෙ නෑ.” නිලධාරියා කීවේ දැඩි ස්වරයෙනි.

තමන්ට තමුසේ යයි නින්දාලාපී ආමන්ත්‍රණක් කළ නිලධාරියාට පුංචිහේවා දුන්නේ දිගු පිළිතුරකි. පිළිතුරට ‘තමුසේ’ යන වචනය එකොළොස් වතාවක් ඇතුළත් විය. අවසානයේ දී ‘තමුසේ‘ යන වචනය ‘තමුන්නාන්සේ‘ යන්නෙන් බිඳුණක් මිස අපහාසවාචී පදයක් නොවන බවත් පහදා දුන්නේ ය.

බණ්ඩාරදූව කැලයෙන් වට වූ පාසලකි. ඉතින් අධීක්ෂණය සඳහා නිලධාරීහු නොපැමිණෙති්. එහෙත් දවසක් පුංචිහේවා සමඟ නිතර ගැටෙන අධ්‍යාපන නිලධාරියා පාසලට ආවේ ය. ඔහු පැමිණියේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයට අයත් ජීප් රියකිනි. නිල බලයෙන් ම අධ්‍යාපන නිලධාරියා ගල්ඔය මණ්ඩලයේ නිලධාරියෙක් ද විය.

ඒ පාසල් දරුවන්ගේ විවේක කාලයයි. පුංචිහේවා සිටියේ දහවල් බත උයමිනි. නිලධාරියා දුටු මුල් ගුරුවරයා ඔහු මුල්ගුරු මේසයට කැඳවාගෙන ගියේ ය.

“මොනවද කළේ?” නිලධාරියා ප්‍රශ්න කළේය.

“දරුවන්ට විවේකෙ. මම දවාලට උයනවා.”

“මෙහෙ කෑම බීම අපහසුයි නේ ද?”

“නෑ උයාගත්තම අපහසු නෑ.” අධ්‍යාපන නිලධාරියා සමඟ පැමිණි ගල්ඔය මණ්ඩලයේ නිලධාරියා සිටියේ පාසලේ කෙටි බිත්තිය ආසන්නයේ ය. ඔහුට ද හිනා ගියේ ය.

“අධ්‍යාපන ඇමැතිතුමාගෙ වගා ව්‍යාපෘතිය පිළිබඳ චක්‍ර ලේඛන ලැබෙන්නට ඇතිනෙ. ඒත් පාසල් ඉඩම වගා කරල නෑ.” නිලධාරියා හද්දා කැලයෙන් වට වී ඇති පාසල් වත්ත පිරික්සමින් වැරැද්දක් සොයන්නට මාන බැලී ය.

“ඇයි නැත්තෙ? වටේට ම වගා කරල තියෙන්නෙ. ඔය නිදිකුම්බා, වල්පැල. වෙන දේවල් මෙතන වවන්න බෑ. හරක් නොකන දේ විතරයි වවන්න පුළුවන්.” පුංචිහේවා කීවේ ය.

“කෘෂි උපකරණ ලැබිල තියනව ද?”

“අපෝ තියනවා. එක උදැල්ලයි. ඒක කන් හැන්දක් වගේ. දත් කැඩිච්ච එක රේක්කයක් තියනවා.”

“පාසල් ඉඩම කොපමණ ද?” මේච්චල් කරන්නට අපහසු දඩබ්බර මිනිහා මේච්චල් කරනු රිසින් නිලධාරියා තවත් ප්‍රශ්නයක් නැඟුවේය.

“මට දැනුම් දී නෑ. ඒත් මට සීමා කියන්න පුළුවන්. නැඟෙනහිරින් මඩකලපුව, උතුරින් යාපනය, දකුණින් මාතර. බටහිරින් කොළඹ. කොහොමටත් ඔය සීමා ඇතුළෙනෙ මේ ඉඩම තියෙන්නෙ.”

අධ්‍යාපන නිලධාරියා හෙම්බත් වී සිටියේ ය. සියල්ලට ම වඩා තමා සමඟ ම පැමිණි ගල්ඔය නිලධාරියා නඟන සිනහව ඉසිලීම අපහසු ය. දඩබ්බරයකු මෙල්ල කරන්නට ගොස් අපහාස විඳිනවාට වඩා නම්බු පිටින් ආපසු යෑම වැදගත් බව තේරුම් ගත් ඔහු ‘අනියමින් පැමිණියෙමි.’ යන ලොග් සටහන ලොග් පොතේ යොදා පැමිණි ජීප් රියෙන් ම ආපසු ගියේ ය.

අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල අම්පාර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් අමතන්නට පැමිණෙන බව ගුරුවරුන්ට දන්වා තිබිණි. ගුරුවරුන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊරියගොල්ල ගුරුවරුන් එකසිය ගණනකගේ වැඩ තහනම් කළේය. (එදවස රජයේ සේවකයන්ට ප්‍රසිද්ධ දේශපාලනය තහනම් ව තිබිණි). එබැවින් ගුරු සංගම් විසින් ඔහු හඳුන්වන ලද්දේ ‘ගුරු අයික්මාන්’ යන ආරූඪ නමිනි. ඇමැතිට සංග්‍රහ කරන ආකාරය සාකච්ඡා කරන්නට අධ්‍යාපන නිලධාරියා විදුහල්පති රැස්වීමක් පැවැත්වී ය. ඊරියගොල්ලට දිවා ආහාරාදිය සපයන්නට පාසල්වල ගුරුවරුන්ගෙන් මුදල් අය කළ යුතු බව කියැවිණි. බණ්ඩාරදූවේ මුල් ගුරු පුංචිහේවා නැඟී සිටියේ ය.

“ඇමැතිට කන්න දෙන්න අහිංසක ගුරුවරුන්ගෙන් මුදල් එකතු කරනවට මම විරුද්ධයි. දහවල් කෑම දෙන්න ඕනෑ නම් මම දෙන්නම්.” ඔහු කීවේ ය.

“එපමණ මුදලක් තනියෙන් වියදම් කරන්න පුළුවන් ද?” අධ්‍යාපන නිලධාරි තැන ඇසුවේ විමතිය පළ කරමිනි.

“ඇයි බැරි? මම කන්නෙ බත් බාගයයි. බත් බාගෙ සත අනූවයි. ඉතින් ඇමැතිතුමාටත් මම බත් බාගයක් ගෙනත් දෙන්නම්.” පුංචිහේවා කීවේ ය.

එදවස ඇත්ත පුවත්පතේ මෙම දෙබස පළවූයේ “බත් බාගයක් කෑවම ඇමැතිට හෙණ ද?” යන හිසිනි.

අවසානයේ මුදල් එකතු කෙරිණි. පුංචිහේවා ඇතුළු ගුරු සංගමයේ පිරිස් මුදල් දීමෙන් වැළකී සිටියහ. ඊරියගොල්ලාගමනයට එරෙහිව පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්නට පුංචිහේවා තීරණය කළේ ය. පියසේන කහඳගමගේ සහායට සිටියේ ය.

“ගුරු අයික්මාන් අම්පාරට එපා...”

“ඇමැති කට - උගේ කට

හැකර කට - හුඹස් කට ...”

“ගුරුවරුන්ගේ මාරයා අම්පාරට එපා ...”

රැස්වීමට පැමිණි ඊරිය‍ගොල්ල කළේ පොස්ටර් ඇලවූ අයට බැණ වැදීම ය. පොලිසිය යොදවා පෝස්ටර් ගලවා දැමිණි. පෝස්ටර් ඇලවූවන් සොයන්නට මෙහෙයුම් දියත් විය. සැකයට භාජනය වූ පුංචිහේවා මාරු කරන්නට තීරණය කෙරිණි. මාරුවීම් අයදුම්පතක් ද ඔහුට එවා තිබිණි. තමන් මාරු කරන්නේ ස්ථිර පදිංචියෙන් බොහෝ ඈතට බව දන්නා පුංචිහේවා ස්ථිර ලිපිනයට යෙදුවේ මඩකලපුවේ ලිපිනයකි. මාරුව ලැබුණේ මඩකලපුවෙන් ප්‍රතිවිරුද්ධ දිසාවේ පිහිටි කොළඹට ය. වැල්ලම්පිටියේ සේදවත්ත විදුහලට ය. ඉතින් සවස් කාලය ඇත්ත කාර්යාලයේ ගත කරන්නට ඉඩ ලැබිණි.

පුංචිහේවා මහතා දරුවන්ට මෙන් ම සහෝදර ගුරුවරුන්ට ද සෙත සැලසූ අදීන ගුරුවරයෙකි. නීතිඥයෙකි. මානව හිමිකම් ක්‍රියාධරයෙකි. ලේඛකයෙකි. මේ තැනැත්තා ගැන සපුරා කියන්නට නම් මෙවන් ලිපියක් නොව පොතක් ලිවිය යුතු වෙයි. වයසින් අනූවන වියට ආසන්නව සිටින මේ උදාර මිනිසාට දීඝායු පතමු. 

 

නව අදහස දක්වන්න