‘කොස් උරුමයක පුනරුදය’ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ | දිනමිණ

‘කොස් උරුමයක පුනරුදය’ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

රක්ෂණ ශ්‍රියන්ත

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් 'කොස් උරුමයක පුනරුදය' නමින් කොස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය පසුගියදා (05) ඇරඹීය.

මේ ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උලෙළ බත්තරමුල්ල, 'අපේ ගම' පරිශ්‍රයේදී කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ කීය.

"රටෙහි ආහාර සංස්කෘතිය නිසි මඟට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක්. අද බහුජාතික සමාගම්වල වස විස සහිත පරිභෝජන ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමෙහි යෙදෙන ඒවායේ සන්නාම තානාපතිවරුන් ලෙස පෙනී සිටින නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් දැක ගත හැකියි. සමාජයට බලපෑමක් කළ එවැනි ප්‍රසිද්ධ පිරිස් අගය එකතු කළ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවහොත් එය රටට මෙන්ම ඔවුන්ට ද මහත් ඵල, මහානිසංස ලැබෙන කර්තව්‍යයක්.

එසේම වර්තමානයේ මෙරට රූපවාහිනී නාලිකාවල උදේ වරුවේ විකාශයන් දරුවන් මරන මව්වරුන් පිස්සු වට්ටන වරුවක් වී තිබෙනවා. එම වරුවෙන් එක් පැයක් හෝ මෙරට ආහාර සංස්කෘතිය නිසි මඟට ගැනීම අරමුණු කර ගත් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම වෙනුවෙන් යෙදවීමට හැකි නම් ඉදිරිපත් වන ලෙස මෙරට රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටිනවා."

කොස් ආශ්‍රිත පර්යේෂණ රැසක නියැළෙමින් ඒවා ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

'කොස් උරුමයක පුනරුදය' තේමා ගීතය එළි දැක්වීම, 'KOS Heritage' නමින් ෆේස්බුක් පිටුවක් සහ යූ ටියුබ් චැනලයක් එළි දැක්වීම හා ව්‍යාපෘතියෙහි 'ඉදිරි දැක්ම' ඇතුළත් සමරු කලාපය ඇමැතිවරයාට පිළිගැන්වීම මෙහිදී සිදු විය. එසේම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සම්පත් දායකත්වය දෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු අනෙකුත් පිරිසට තිළිණ හා සහතික පත් ප්‍රදානයත්, කොස් පැළ සංකේතාත්මකව බෙදාදීමත් ඇමැතිවරයා අතින් සිදු විය.

දැනටමත් අගය එකතු කළ කොස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නියැළී සිටින ව්‍යසායකයන්ගේ නිෂ්පාදන ඇතුළත් නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද මෙහි සංවිධාන කර තිබිණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න