ඇමැති උදය ගම්මන්පිලට රට යන්න කොළඹ මහාධිකරණය අවසර දෙයි | දිනමිණ

ඇමැති උදය ගම්මන්පිලට රට යන්න කොළඹ මහාධිකරණය අවසර දෙයි

රෝෂන් තුෂාර

රාජකාරි සහ පෞද්ගලික සංචාරයක් සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (11) අවසර දුන්නේය.

ලබන 22 වැනි දින සිට අප්‍රේල් 29 වැනි දින දක්වා විදේශගත වීම සඳහා අවසර ලබා දෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ දන්වා සිටියේය

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

පෞද්ගලික හේතුවක් මත ඔස්ට්‍රේලියාව බලා පිටත් වීම සඳහා සහ ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය යන රටවල පවතින බලශක්ති සමුළු දෙකක් සඳහා සහභාගි වීමට අවශ්‍ය බැවින් තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස නීතීඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙබරවාරි 3 වැනි දින පැවැත්වෙන නඩු විභාගය සඳහා සහභාගි විය හැකි බවද උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ කාල සීමාව තුළ විත්තිකාර ගම්මන්පිල මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළ අතර අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හදාහරින ලෙසත් නියෝග කළේය.

බ්‍රයන් ෂැඩික් නමැති ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස්, ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

නව අදහස දක්වන්න