රෝයල් නර්සිං හෝම් රැකියා 1,000ක් පිරිනමයි | දිනමිණ

රෝයල් නර්සිං හෝම් රැකියා 1,000ක් පිරිනමයි

මෙරට විශාලම ගෘහස්ථ හෙද සේවා සහ ගිලන් රථ සේවා සමාගම වන රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම 2022 වර්ෂයේ දී වයස අවුරුදු 45ට අඩු තරුණ තරුණියන් 400 දෙනකුට නොමිලේ හෙද පුහුණුවක් දී සේවයට බඳවා ගනිමින් රැකියා අවස්ථා 1,000ක් උත්පාදනය කිරීමට පසුගියදා තීරණය කරන ලදි. රෝයල් නර්සිං හෝම් සභාපති මනුජ හේවාවසම්, විධායක අධ්‍යක්ෂිකා හේමාලී ගීකියනගේ, සාමාන්‍යධිකාරි ධනුෂ්ක විජයසිංහ යන මහත්ම මහත්මීන් ආයතනයේ අංශ භාර කළමනාකරුවන් හා විධායක නිලධාරීන් සමඟ පසුගිය දා රෝයල් නර්සිං හෝම් ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුවට එළැඹිණි. 2007 වසරේදී ඇරඹූ රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත අයතතනයකි. වර්තමානයේදී රෝයල් නර්සිං හෝම් සමාගම වෘත්තීය පුහුණුව ලැබූ පළපුරුදු 600ක සේවක මණ්ඩලයකින් සමන්විතය.

රෝයල් නර්සිං හෝම් වෙතින් හෙද සේවා පහසුකම් අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ රෝගීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාවක් සැපයීමේ අරමුණින් මේ නව තීරණය ක්‍රියාත්මක කරන බව සභාපති මනුජ හේවාවසම් මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් දක්වමින් සාමාන්‍යධිකාරි ධනුෂ්ක විජයසිංහ මහතා පැවසූවේ පසුගිය කොවිඩ් වසංගත සමයේදී කිසිදු සේවකයකු ඉවත් නොකර, වැටුප් කප්පාදුවකින් තොරව සිය මෙහෙයුම් කිරීමට රෝයල් නර්සිං හෝම් සමාගමට හැකි වූ බවයි. ආයතනයේ සේවා බළකාය පුළුල් කිරීමට ගත් නව තීරණයත් සමඟ නව රැකියා අපේක්ෂිතයන්ට නොමිලේ පුහුණුවකින් පසුව රැකියා ලැබෙන බවත් කොවිඩ් නිසා රැකියා අහිමි වූවන්ට ද මෙය අනගි අවස්ථාවක් බවත් ඒ මහතා පැවසීය. එසේම හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව ආදි රටවලට හෙද සේවා සැපයීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා රටේ ආර්ථිකයට ශක්තියක් වීමට එමඟින් හැකි වන බව ද විජයසිංහ මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න