ඔමික්‍රොන් ව්‍යාප්තිය දරුණු වෙයි | දිනමිණ

ඔමික්‍රොන් ව්‍යාප්තිය දරුණු වෙයි

චීනයේ තුන්වැනි නගරයත් වසා දමයි

කොවිඩ් වයිරසයේ නව ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිරී යෑම හේතුවෙන් මධ්‍යම චීනයේ අන්යැං නුවර මිලියන 5ක නගර වාසීන් නිවාසවලට සීමා කිරීම ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එය මෑතකදී චීනය විසින් ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමීමට පියවර ගත් තුන්වැනි නගරය වේ. ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මීට පෙර පසුගිය දෙසැම්බරයේදී ෂියැං නුවර සහ යූෂෝ නුවර වසා දැමීමට චීන රජය පියවර ගෙන තිබිණි.

දේශ සීමා වසා දැමීම්, මහා පරිමාණයෙන් පරීක්ෂණ සිදු කිරීම් ඇතුළු ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වැළැක්වීමට චීන රජය දැඩි උත්සාහයක නිරතව සිටින අතර, එළැඹෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පෙර චීනය කොවිඩ් වයිරසයෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු පියවර ගනිමින් සිටී.

හෙනාන් ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක් වන අන්යැං නුවර පදිංචිකරුවන්ට නිවාසවලින් පිටව නොයන ලෙසත්, මාර්ගවල මෝටර් රථ ධාවනයෙන් වැළකී සිටින ලෙසත් දැනුම් දී ඇති අතර, ඉදිරියේදී මේ තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය ඕනෑම නීතියක් පැනවීමට සූදානමින් සිටී.

 

නව අදහස දක්වන්න