ලිතුවේනියාවේ තායිවාන කාර්යාලය චීනය හෙළා දකී | දිනමිණ

ලිතුවේනියාවේ තායිවාන කාර්යාලය චීනය හෙළා දකී

ලිතුවේනියාවේ විල්නියස් අගනුවර තානාපති කාර්යාලයකට සමාන නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමට තායිවානයට අවසර දීම සම්බන්ධව ලිතුවේනියාවට චීනයෙන් දැඩි අප්‍රසාදය පළ වී ඇතැයි වාර්තා වේ. ලිතුවේනියාවේ තායිවාන නියෝජිත කාර්යාලය නමින් විවෘත කළ මේ කාර්යාලය මගින් තායිවානය සහ ලිතුවේනියාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට කටයුතු යොදා ඇති අතර, එම කාර්යාලයට තානාපති කාර්යාලයක නිල පිළිගැනීමක් ද ලැබී තිබේ.

කෙසේ වුවත් මේ පිළිබඳ තම අප්‍රසාදය පළ කරමින් ලිතුවේනියාව සමඟ ඇති රාජතාන්ත්‍රික සම්බන්ධතා අවම කිරීමට චීනය පියවර ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මීට අමතරව චීනයේ බීජිං නුවර සිටින ලිතුවේනියානු තානාපති නිලධාරීන්ට ඔවුන්ගේ හැඳුනුම්පත් ආපසු බාර දෙන ලෙස චීන රජය දැනුම් දී ඇති අතර, මේ හේතුව නිසා ජීවිත අවදානම සැලකිල්ලට ගනිමින් බීජිං නුවර සිටින සිය නිලධාරීන් ඉවත් කර ගැනීමට ලිතුවේනියාව පියවර ගෙන ඇත. කෙසේ වෙතත් ලිතුවේනියාව ගත් මේ පියවර සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ ආමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ ලිතුවේනියාව අර්බුදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතවන බවය.

 

නව අදහස දක්වන්න