ලුණුගම්වෙහෙර වන පෙතේ සැරිසරන බළල් පවුලේ ලොක්කා | දිනමිණ

ලුණුගම්වෙහෙර වන පෙතේ සැරිසරන බළල් පවුලේ ලොක්කා

වන පෙත නිහඬය. දිනයේ ඇරැඹුමෙහි සිට සවස් යාමය වන තෙක් වනාන්තරයේ අස්සක් මුල්ලක් නෑරම හක්කලන් කළ සතා සීපාවෝ ආගිය අතක් නොවෙති. හිරු බටහිර අහසෙහි අග්ගිස්සෙහි එල්බ ගත් වනම පසු වේ. එහෙත් තවත් නිමේෂයකින් මුළු ලොවම අඳුරෙහි ගිල්වා හේ සැඟව යනු ඇත. ඉනික්බිති වන පෙතේ රජයනුයේ අවිනිශ්චිතතාවය හා සමඟ මුසු වූ භයංකරත්වයේ නිහඬ සාක්ෂිකරුවන් පමණි. රැහැයියන්ගේ තීව්‍ර නාදය දසත රැව් පිළිරැව් දේ. ළා අඳුර මැද කුඩා බෝල දෙකක් එකිනෙක ගැටෙන්නට පටන් ගෙන ඇත.

එක් වනම වැව් පිටිය දිසාවෙන් නැඟුණු කිරළ ඝෝෂාවට, වනාතේ සිට වඳුරු රංචුව එකතුව නැඟූ “බුකු” – “බුකු”ව මිශ්‍ර වීමෙන් නිර්මාණය වී ඇත්තේ කලබලකාරී ස්වභාවයකි. දෙනෙත නතර විය. ගත සලිත වූයේ නිමේෂයකිනි. මේ සියලු කාලගෝට්ටියේ නිර්මාපකයා මා ඇස් අබිමුව විරාජමානව සෙල්මුවා ප්‍රතිමාවක් හා සමැව නිසොල්මනේ , අවට සිදු වන දෑ පිළිබඳ කිසිදු හෝ තැති ගැන්මකින් තොරව පසු වේ. මඳ වේලාවක් එසේ පසු වු හේ කොළ ගොන්නකින් සැදී මයිල ගසෙහි අඳුර අතරින් මෑත් විය. මා හට අතපසු වීමක් වත් සිදුවී ද? එකී ගැටලුව වහ වහා විසඳා ගත යුතුය.

මයිල ගස් ගොන්නෙන් වැව් පිටියට පැමිණි අහංකාරයා, මහත් උඩඟු බැල්මෙන් අවට විපරම් කරමින් සිටී. “මේ කවුද?...”

පසුපස ගාත් යුගල මත උක්කුටික ඉරියව්වෙන් නතරව ඉදිරි ගාත් යුගලට බර දී හිඳ සිටින්නේ මමාලියා වර්ගයේ, කානීවෝරා ගෝත්‍රයේ, ෆෙලිඩේ කුලයට අයත් පැන්තෙරා පාඩුස් කොටියා යන විද්‍යාත්මක නාමයෙන් පුද ලැබූ කොටියෙකි. සිරුර පුරා දිව යන කහපාට වර්ණයේ කළු පුල්ලි රටාව දරනා අනගි කොටියෙකි.

මෙරට වනපෙත් තුළ පවත්නා භයංකාරත්වයේ ප‍්‍රතිමූර්තිය මොහුය.

මාගේ උත්සාහය සාර්ථකය. දින කිහිපයකට ප‍්‍රථම ලුණුගම්වෙහෙර වනපෙතේ තල්ගහදිගන වැව් පිටියේ කළ සංචාරයකදී වැල්ලේ සටහන්ව තිබූ පා සලකුණු කිහිපයක් කෙරෙහි මාගේ අවධානය යොමු විය. සතුන් වතුර බීමට වැව කරා පැමිණෙන ඉසවුවකදීය ලංකාව තුළ ජීවත් වන බළල් පවුලේ ලොක්කාගේ එකී පා සටහන් හමු වූයේ.

පෙර සඳහන් කළ මයිල ගස සමීපයෙන් ඇරැඹෙන එම පා සටහන් වැව් පිටිය ඔස්සේ වැව කරා විත්, එතැන් සිට එළිමහන් පිටිය හරහා යළිත් වනාත දෙසට යොමු වී ඇති බව මාගේ නිරීක්ෂණයට හසු විය. එතැන් සිට මෙකී හයිකාරයා දැක ගන්නා අටියෙන් තල්ගහදිගන වැව සමීපයේ හිඳ සවස් වරු කිහිපයක්ම මම ගත කළෙමි. නමුදු එදවස් කිහිපයම ගත වූයේ බලාපොරොත්තු දිය කර හරිමිනි.

එනිසාවෙන් මේ නුදුටු වන සීපාවා “තල්ගහදිගන කොටියා” යන පටබැඳි නමකින් හැඳින්වීමට මම පුරුදු වී සිටියෙමි. වන පෙතේ මෙවැනි වැව් ආශ්‍රිතව මඩ සහිත වැල්ලේ සෑම තැනෙකම නොයෙකුත්

සත්ත්ව සලකුණු සටහන් වී ඇත. එයම වනයේ හක්කලන් කරන වන වාසීන්ගේ දින චර්යාවන් ලියා තැබූ වාර්තා සටහන් හා සම වෙයි. සතෙක් නෙත නොගැටුණ ද ඔවුන් කළ කී දෑ කෙබඳුදැයි යන්න පිළිබඳව සටහන් වු නිහඬ සාක්ෂි හා මෙම සත්ත්ව සලකුණු සම වේ.

විමසිලිමත්ව දිය බිවූ මුව රැලකගේ කුර සලකුණු වැව දෙපසම ඉවුරු තෙර

සටහන්ව ඇති බැව් වැව වටා සිදු කළ සක්මනෙන් පසක් වෙයි. මුවන්ගේ

විමසිලිමත් බව, සාමූහිකත්වය, කලබලකාරිත්වය සහ කෙළිකවට විලාසය යනාදී සියලුම චර්යා රටා මෙකී පා සටහන්හි ගැබ්ව ඇත.

ඌරාගේ පට ඇරුණු කුර සටහන ගෝනාගේ සහ මුවාගේ කුර සටහනින් වෙන් කර හඳුනා ගත හැකි වෙයි. මුළුමනින්ම යටි පතුල් සටහන සටහන්ව ඇත්තේ වලසාගේ, රිලවාගේ සහ ඉත්තෑවා ආදී සතුන්ගේය. වලසාගේ යටි පතුලේ සලකුණ කුඩා දරුවකුගේ යටි පතුලේ පා සලකුණ හා සමානය. ඉත්තෑවාගේ පා සලකුණ පැහැදිලි වශයෙන් හඳුනා ගත හැකි වන්නේ පා සලකුණ අසලම සටහන්ව ඇති වලිගයේ පසු පස ඉත් තෑ කූර බිම ඇතිල්ලීමේ සලකුණු ආධාරයෙනි.

විමසිලිමත්ව වැව කරා පැමිණ, වැව් දියට නොදැනෙන්න, හොර රහසේම දිය පෙතක් තොළ ගෑ බළල් පවුලේ සාමාජිකයින්ගේ පා සලකුණු හැම සත්ත්ව ඛාණ්ඩයකින්ම වෙන් කර හඳුනා ගත හැකි වෙයි. වන සංචාරයක් තුළදී දැකීමට අසීරුම සහ දැකිය යුතුම ක්ෂීරපායි සත්ත්වයා වන 'කොටියා' දැක ගත හැකි වූ කල සිතට දැනෙනා සතුට නිමක් නැත. තල්ගහදිගන කොටියා සිටින්නේ, තණ පලස මත වැතිර සැඟ වී ගෙනය. එළිමහන් පිටියේ හිඳ සිටි කොටියා පසුබිමෙන් නැඟෙන හඬ නොතකා භාවනාවකට සම වැදී සිටී. නමුදු විවෘත දෙනෙතෙහි රැඳී අනුකම්පා විරහිත බැල්ම හඟවනුයේ, තම නිවස්න වන වනාන්තරයේ ස්වභාවය හොඳාකාරවම දන්නා බවකි. එය ඔප් නංවනු වස් ඌ ඉදිරි දකුණු පාදයේ තවරා ගත් කෙළ පොදකින් මුව දෝවනයේ නිරතව සිටී. රාත්‍රී දඩ කෙළියට ප‍්‍රථම ලද මේ කෙටි විවේකය හඟවනුයේ එළැඹෙන රාත්‍රිය වෙහෙසකාරී වන බව ද?

වනපෙතෙහි ජීවත් වන කොටියෝ තම තමන් විසින් වෙන් කර ගත් වසම්හි ජීවත් වීමට ප්‍රිය කරති. ස්වකීය ගොදුරු බිම් තවත් කොටියකු හා සමඟ සාමූහිකව බුක්ති විඳීමට ඔහු අකමැතිය. ගස් කඳන් මත තබනා නිය සලකුණු, තමන්ගේ වසුරු සහ මුත්‍රා මඟින්, සිය වසමේ අයිතිය ලකුණු කිරීමට මොවුහු හුරු වී සිටිති. එම මායිම් දිවා රෑ අලුත් කිරීමට ද කොටියා අමතක නොකරයි. ශාරීරික බෙලහීනතාවයකින් පීඩා නොවිඳීන තුරු කොටියා සතු දඩයම් ශිල්ප ක්‍රමයන්ට නොදෙවැනි වෙනත් වන ජීවියකු නොමැති තරම්ය. හිරු රැස් ගස් අතුරින් පෙරී බේරී වන පෙත සිප ගනිත්ම පොළෝ තලයේ මැවෙනා සෙවණැලි හා සම වූ කහ පැහැති සිරුරේ දිව යන කළුපාට ලප පිහිටා ඇති හැඩතලයන් සහ සිහින් සුනම්‍යය, ශක්තිමත් සිරුරක් වනාන්තර ජීවිතයට සුදුසුම නිර්මාණයක් නොවන්නේ ද? ඊට පරදු තබනුයේ කවරකු ද? ජවසම්පන්න ධාවනයට සහ නිමේෂයකින් ගසක් මතට ගොඩ විය හැක්කේ කොටියාට හැර වෙන කාට ද?

වන පෙතේ ඇති වන කොටි සටන් නිමා වන්නේ එකකු පරාජය බාර ගෙන ඉවත්ව යෑමෙන් හෝ නියත මරණයකින් පසුවය. වන හටන්වලින් අබ්බගාත වන කොටි පසුකාලීනව දඩයමක් කර ගැනීමට අවැසි ජවසම්පන්නකමින් හීන වෙති. එවිට ඔවුන්ට තිබෙනා එකම විකල්පය වන්නේ වනාන්තර මායිමේ පිහිටා ඇති ගම්මානවලට වැදී බල්ලන්, බළලුන් සහ ගවයන් වැනි පහසු ගොදුරක් දඩයම් කර ගැනීමටය. මෙකී ක්‍රියාවලියට හුරු වූ කොටියෙක් වෙතොත් ඌ ගෘහාශ්‍රිත සතුන් දඩයමට වැඩි නැඹුරුවක් පෙන්වයි.

වනාතේ සිට නැඟී ආ මුවාගේ ‘කෝව්’ ගෑමත්, ගෝනාගේ ‘ටං’ ගෑමත්, කුලාගේ ‘ඈඟිරි’ පෑමත්, වල් ඌරාගේ ‘ගොජ - ගොජ’යත්, කොටියාගේ ‘ගෙරවිල්ලත්, වනාන්තරයට රාත්‍රිය උදා වී ඇති බැව් හඟවන පොදු සාධකය. මෙතැන් සිට අලුයම් සමය තෙක් ඇරැඹෙන ජීවිත සටනේ ජය පැරදුම සම සිතින් විඳ දරා ගැනීමට වන දූ දරුවෝ හුරු වී සිටිති. අන්ධකාරයේ සළු පොරවා ගත් තල්ගහදිගන වැව දිස්වනුයේ එකම කළු බිම්කඩක් සේය. කළුවර විසින් මුළු මහත් වන පෙතම ආක්‍රමණය කරනු ලැබ ඇත. එබැව් හඟවන්නට දෝ අඳුරු රුක් ගොමුවෙන් මහා කුංච නාදයක් නැඟී එයි. මේ මහ ඇත්තන් කළ එළි බසිනා වේලාවය. මේ රාත්‍රිය අයිති ඔවුන්ටය.

 සඳමල් රශ්මී .ශ්‍රී. බුද්ධික 
ඡායාරූප - රංග විජේරත්න

නව අදහස දක්වන්න