පාලනය නිවැරැදි නම් ජනතාව ළඟට යන්න බිය විය යුතු නැහැ | දිනමිණ

පාලනය නිවැරැදි නම් ජනතාව ළඟට යන්න බිය විය යුතු නැහැ

විපක්ෂ නායක සජිත්

නිවැරැදි පාලනයක් ගෙන යනවා නම් ජනතාව අතරට යන්න පාලකයන් බිය විය යුතු නැහැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පේදුරුතුඩුවේදී ඊයේ (12) පැවසීය.

ආණ්ඩුව ජනතාව අතරට යෑමට බියක් දක්වන බව පළාත් පාලන ඡන්දය කල් දැමීමෙන් ඔප්පු වන බව ද විපක්ෂ නායකවරයා කීවේය.

ආලෝකවත් රටක් වෙනුවට අපේ රට අන්ධකාරයෙන් පිරුණු රටක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

‘‘මේ ආකාරයට රටක් ලෙස අපට ඉදිරියට යන්න බැහැ. අනිවාර්යෙන්ම වෙනසක් විය යුත්තේ ජනතාවාදි, ජනහිතකාමි, රටට සෙතක් අත්පත් වෙන ආකාරයට. සමඟි ජන බලවේගය අපි පොරොන්දු වෙනවා මේ රටේ දැවෙන ප්‍රශ්නවලට නැවුම් විසඳුම් දීලා මේ රට ගොඩ දමන්නට. සාම්ප්‍රදාය පසෙක දමා ක්‍රියාවෙන් ඔප්පු කර තියෙනවා. රට ගොඩනඟන්නට, තියුණු කරන්නට, සංවර්ධනය කරන්නට, රටේ වගකීම භාර ගන්න අපි සූදානම්‘‘ යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

පහන් විජේසේකර

නව අදහස දක්වන්න