අභියෝග තිබුණත් රට බංකොලොත් නොකර විදෙස් ණය ගෙවනවා | දිනමිණ

අභියෝග තිබුණත් රට බංකොලොත් නොකර විදෙස් ණය ගෙවනවා

මහ බැංකු අධිපති අවධාරණය කරයි

මේ වසරේදී ආර්ථික අතින් දැඩි අභියෝගකාරි වටාපිටාවක වුව රට බංකොළොත් නොකොට ගෙවිය යුතු විදෙස් ණය වාරික හා පොලිය ආපසු ගෙවමින් ආර්ථික කළමනාකරණය මනාව කිරීමට කැප වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

කොළඹ 05, නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (12) උදේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය. ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ඇතුළු පිරිස මේ මාධ්‍ය හමුව සංවිධාන කොට තිබිණි.

වසර 2021 ඉතා අභියෝගකාරි වටාපිටාවක පවා රටේ ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් නව වසරට පියවර තැබූ බව සඳහන් කළ අධිපතිවරයා වසර 2022 බලාපොරොත්තු සහගතව ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් සියයට 5.2ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනිමින් මේ වසරේ පෙරට යෑමට සියලු සැලසුම් සකස්කොට ඇතැයි ද කීය.

ශ්‍රී ලංකා ආර්ථිකය ‍මේ වන විට මුහුණ දෙන විදේශ විනිමය හිඟකම දුරු කිරීම සඳහා උපාය මාර්ගිකව එක් වැඩපිළිවෙළක් නොව වැඩපිළිවෙළ ගණනාවක් ඔස්සේ ඉදිරියට යෑමට තමන් පියවර ගනිමින් සිටින බව ද අධිපතිවරයා කීය.

එය පැහැදිලි කළ අධිපතිවරයා, එන්ජින් එකක් සවි කළ ජෙට් යානයක ගමන් කරනවා වෙනුවට එන්ජින් හතරක් සවි කළ ජෙට් යානයක ගමන් කිරීම යෝග්‍ය වන්නේ යම් සේද එලෙසම ශ්‍රී ලංකා ආර්ථිකය ද කළමනාකරණය කිරීමේදී තම ප්‍රතිපත්තිය වී ඇත්තේ එකම අරමුණ ජය ගැනීමට උපායමාර්ගික වැඩපිළිවෙළ ගණනාවක් සැලසුම්කොට යෝජනාකොට ක්‍රියාත්මකකොට ඉදිරියට යෑම බවය.

මෙරටට ලැබෙන විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගන්නා ආකාරය මාසයෙන් මාසය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයාත්, මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තමා වාර්තා ඉදිරිපත් කරන බව ද කබ්රාල් මහතා කීය.

එලෙස දෙන විදේශ විනිමය සංචිතය පිළිබඳ දත්ත වාර්තාවන් ගැන සැකමුසුව බැලීමට යම් අයකු ක්‍රියා කිරීම වැළැක්වීමට තමාට කිසිම වුවමනාවක් නැතැයි කී අධිපතිවරයා එලෙස ක්‍රියා කරන්නන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ දැමීමට පියවර ගැනීමක් වන බව නම් අවධාරණය කළ යුතුම කරුණකැයි කීය.

ශ්‍රී ලංකාව සතු රත්රන් සංචිතය අඩු වී ඇතැයි ඇතැමකු නඟන චෝදනාවට පිළිතුරු දුන් අධිපතිවරයා, ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ ඕනෑම රටක් තමන්ගේ හදිසි වියදම් සහ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට එක් රැස් කර ගෙන තිබෙන, ඉතිරි‍ කර ගෙන තිබෙන සම්පත් යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ අනුව අපත් වර්තමානයේ මුහුණ දී ‍තිබෙන අභියෝගය හමුවේ වත්කම් සංචිත කළමනාකරණය කර ගැනීමේ අදහසින් එලෙස ක්‍රියා කොට ඇතැයි ද කීය.

 

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න