කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය යථා තත්ත්වයට | දිනමිණ

කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය යථා තත්ත්වයට

විදුලි කප්පාදුවක් නැහැ

විදුලිබල අතිරේක ලේකම් කියයි

දින දෙකකට පෙර හදිසි බිඳ වැටීමකට ලක් වූ කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති නිසා තවදුරටත් විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ‘දිනමිණ‘ට ඊයේ (12) ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි දිනවලදී විදුලිය කප්පාදුවක් නොවන බවට ද ඒ මහතා තහවුරු කළේය.

අදාළ පෞද්ගලික බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් 11 දා ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි විසන්ධි වීමක් වූ අතර, එම පෞද්ගලික බලාගාරයේ ප්‍රකාශකයකු සඳහන් කළේ එදින රාත්‍රියේම තම බලාගාරය යථා තත්ත්වයට පත් කළ බවයි. එම නිසා ඉදිරි විදුලි කප්පාදුවක් වුවහොත් එය තම බලාගාරයේ ගැටලුවක් නිසා නොවන බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය මේ වන විට කාණ්ඩ 4ක් යටතේ රට පුරා විදුලිය කප්පාදු කරන වේලාවන් දක්වමින් කාලසටහන් නිකුත් කර තිබේ. ඒ අනුව සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් අදාළ කාලසටහන අනුව විදුලි කප්පාදුව කිරීමට නියමිතව තිබිණි. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා ද පසුගිය දා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ අලුත්වැඩියා කරමින් පවතින මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් වන තෙක් අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති කාලසටහනට අනුව විදුලිය කප්පාදු කිරීමට වන බවයි.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න