යෞවනයන්ගේ ලෝක කුසලාන සටන ඇරඹේ | දිනමිණ

යෞවනයන්ගේ ලෝක කුසලාන සටන ඇරඹේ

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තයට එරෙහිව පිටියට

අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ගේ දස්කම් ඔප් නංවන 14 වැනි යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (14) බටහිර ඉන්දීය කොදෙව්හිදී ආරම්භ වෙයි.

තරග 48ක් ඇතුළත් වන මේ තරගාවලිය බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් සාන්ත කිට්ස් සහ නෙවිස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ, ඇන්ටිගුවා සහ බාබියුඩා සමඟ ගයානා දුපත් හතරක පිහිටි ක්‍රීඩාංගණ 10කදී අද සිට 5 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග අද සිට 22 වැනිදා දක්වා පැවැවෙන අතර, පසුව එක් එක් කාණ්ඩවල ප්‍රසාද ලකුණු අනුව කණ්ඩායම් පලඟ ශූරතා සහ සුපර් ලීග් ලෙස කොටස් දෙකක් යටතේ තරග පැවැත්වේ. පලඟ ශූරතා අවසන් තරගය 31 වැනිදාත්, සුපර් ලීග් වටයේ අවසන් පූර්ව තරග ද්විත්වය පෙබරවාරි 1-2 දෙදිනත් පැවැත්වේ. 3, 5 සහ 7 වැනි ස්ථාන සඳහා තරග 3 වැනිදා පැවැත්වෙන අතර, යොවුන් ලෝක කුසලාන අවසන් මහා තරගය පෙබරවාරි 5 වැනිදා ඇන්ටිගුවාහිදී පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායම් 16ක්

මෙවර තරගාවලියට කණ්ඩායම් 16ක් එක්ව සිටින අතර, එම කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින අතර, සත්කාරක කොදෙව් පිල සමඟ ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය ද එම කාණ්ඩයට ඇතුළත්ව සිටී.

ස්කොට්ලන්තයට තරගාවලියේ දොරටු විවර වූයේ නිරෝධායන නීතිරීති සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් නවසීලන්තය තරගාවලියට එක් නොවීම හේතුවෙනි.

මෙවර සිය ශූරතාව රැක ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන පසුගිය ශූර බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, එවර අනුශූරයන් වූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදී.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායම් දෙකක පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

බංග්ලාදේශයට අයිසීසී ප්‍රධාන තරගාවලියකට ශූරතාව හිමි වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වූ 2020දී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නවීඩ් නවාස් මෙවර ද එක් වී සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක් වී සිටින්නේ අවිශ්ක ගුණවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේය.

ශ්‍රී ලංකාව

අවසන් වරට පැවති තරගාවලියේ 10 වැනි ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ පෙන්වා ඇති ඉහළම දස්කම වන්නේ 2000 වසරේ සත්කාරකයන් ලෙස කටයුතු කරමින් අනුශූරතාව දිනා ගැනීමය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක් වී සිටින්නේ දුනිත් වෙල්ලාලගේ නායකත්වය යටතේය. තරගාවලියට පෙර පැවති පුහුණු තරග දෙකම විශිෂ්ට අයුරින් ජය ගනිමින් ශ්‍රී ලංකා පිල ඉතා හොඳ මානසිකත්වයකින් පසු වෙයි.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වෙන අතර, දෙවැනි තරගයෙන් තරගාවලිය ආරම්භ කරන ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා පිල ලබන 17 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත්, 21 වැනිදා කොදෙව් පිලට එරෙහිව මූලික වටයේ අවසන් තරගයටත් එක් වෙයි.

මූලික වටයේදී ප්‍රතිවාදීන්ට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය තම කණ්ඩායම සතුව ඇති බවට විශ්වාස කරන බවත්, එම කණ්ඩායම්වලට එරෙහිව හොඳ සටනක් දීමට බලාපොරොත්තු වන බවත් නායක දුනිත් ප්‍රකාශ කළේය.

ශූරයෝ

1988 වසරේ ආරම්භ වූ යොවුන් ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 14 වැනි වරටය. 

පළමු තරගාවලියෙන් වසර 10කට පසු දෙවැනි තරගාවලිය පැවති අතර, අනතුරුව වසර 2කට වරක් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට අයිසීසීය කටයුතු කළේය.

මෙතෙක් පැවති තරග 13න් 4ක ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව (2000, 2008, 2012, 2018) සමත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාව තෙවරක් (1988, 2002, 2010), පාකිස්තානය (2004 සහ 2006) දෙවරක් ශූරයන් වී තිබේ. එංගලන්තය (1998), දකුණු අප්‍රිකාව (2014), බටහිර ඉන්දීය කොදෙව් (2016) සහ බංග්ලාදේශය (2020) එක් වරක් ශූරතාව දිනාගෙන තිබේ.

ජයග්‍රාහි මානසිකත්වයකින් තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර ශූරතාව අත්පත් කර ගැනීමට ‘දිනමිණ’ ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරයි.

තරගාවලියට එක් වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය - බංග්ලාදේශය, එංගලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

‘බී’ කාණ්ඩය - ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව

‘සී’ කාණ්ඩය - ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ

‘ඩී’ කාණ්ඩය - ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්

නව අදහස දක්වන්න