කොරෝනා අභියෝගය මැද ශ්‍රී ලංකා එක්දින අවසන් සංචිතය නම් කෙරේ | දිනමිණ

කොරෝනා අභියෝගය මැද ශ්‍රී ලංකා එක්දින අවසන් සංචිතය නම් කෙරේ

ෆවුස් මොහොමඩ්
නුවන් තුෂාර

කොරෝනා වයිරසයේ සහ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේ අභියෝග ජය ගනිමින් සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයෝ 17ක් ඇතුළත් වී සිටිති.

මීට පෙර නම් කළ ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට සහ යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේට අමතරව තවත් යොවුන් පිතිකරුවකු වන කමිල් මිෂාරට ද කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන ළහිරු කුමාරට සහ කලණ පෙරේරාට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ. මීට අමතරව කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා පීතෘ නිවාඩු ඉල්ලා ඇති බැවින් ඔහු ද සංචිතයෙන් ඉවත් වී සිටින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. නව සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා යොමු කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මීට අමතරව අෂේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අශේන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මීට පෙර කොවිඩ් ආසාදනය වී සිටි දසුන් ශානක යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, කොවිඩ ආසාදිතව සිට සුවය ලැබූ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර ද කණ්ඩායමට එක් වී සිටී.

අයිසීසී එක්දින ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරගාවලිය මේ මස 16, 18 සහ 21 තෙදින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙසේය.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩේසේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් අබේවික්‍රම, දුෂ්මන්ත චමීර, චාමික ගුණසේකර, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, නුවන් තුෂාර.

 

නව අදහස දක්වන්න