ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට | දිනමිණ

ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට

කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයකට ලක් විය. පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය.

ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර, ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 7කින් ගෑස් රැගෙන එයි.

බවුසර් රථ මඟින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේදී සිදු කෙරේ. අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මඟින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම කරන බව සමාගම පවසයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ. ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න