පැරෂුටයෙන් පැන්න රුසියානුවා බිමට වැටී රෝහලේ | දිනමිණ

පැරෂුටයෙන් පැන්න රුසියානුවා බිමට වැටී රෝහලේ

දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කඳු මුදුනේ සිට පැරෂුටයක ආධාරයෙන් පිනූ විදේශිකයකු අතරමඟදී එම පැරෂුටය අක්‍රීය වීම නිසා බිම ඇද වැටී බරපතළ තුවාල ලබා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී මෙසේ අක්‍රීය වී ඇති අතර, මේ විදේශිකයා අඩි තිහක් පමණ උසකදී ගසක පැටලී බිම ඇද වැටී ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ රුසියානු ජාතික වයස අවුරුදු තිස් පහක් වන ඇන්ටන් පොලොසායි නමැති තරුණයෙකි. ඔහු තම බිරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ලූල්කඳුර ප්‍රදේශයේ සිරි නැරැඹීමට ගොස් තනියම පැරෂුටයෙන් ගමන් කිරීමේදී මේ අනතුර සිදුවී ඇත.

මේ සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳ ගලහ පොලිසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර ඇත. මේ අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාදවලට බරපතළ තුවාල සිදුවී ඇත. ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

ගලහ සමූහ

නව අදහස දක්වන්න