සංචාරකයන් ලක්ෂ 70ක් ගෙන්වා ගන්න සැලසුම් | දිනමිණ

සංචාරකයන් ලක්ෂ 70ක් ගෙන්වා ගන්න සැලසුම්

නුවන් කොඩිකාර

නව සැලසුම් සහ ක්‍රමෝපායන් අනුගමනය කරමින් වසර 2030 වන විට සංචාරකයන් ලක්ෂ 70ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ඊයේ (13) පැවසීය.

එමඟින් අමෙරිකානු ඩොලර් බිලියන දහයක ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

“සංචාරයට අවසරයි” යන්න තේමා කර ගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව යමින් නඟා සිටුවීමට පියවර ගන්නා බව එස්. හෙට්ටිආරච්චි මහතා කීවේය.

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවු විරූ ලෙස සංචාරක කර්මාන්තය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වූ බවත් ක්ෂේත්‍රයේ දසලක්ෂයකට අධික පිරිසකගේ ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමි වූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබීය.

නව අදහස දක්වන්න