කොවිඩ් වසංගතය හමුවේත් වර්ධනය වූ සෞභාග්‍යතා දර්ශකය | දිනමිණ

කොවිඩ් වසංගතය හමුවේත් වර්ධනය වූ සෞභාග්‍යතා දර්ශකය

සංවර්ධන ක්‍රියාවලියේ සිදුවන වෙනස්කම් ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් පිළිඹිබු කෙරෙන දර්ශකය, ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන දර්ශකයකි. ජීවන තත්ත්වයේ ඇති වන වෙනස්වීම පළාත් මට්ටමින් ගණනය කෙරෙන වෙනත් දර්ශකයක් නොමැති නිසා මානව සංවර්ධනය අවබෝධ කරගැනීමට මෙම දර්ශකයෙන් පුළුල් දායකත්වයක් ලැබේ.

සෞභාග්‍යතා දර්ශකයේ නවතම වාර්තාව පසුගියදා නිකුත් විය. එයින් 2020 වසරේ සෞභාග්‍යතා අගයන් මැන දක්වා ඇත. ගෝලීය කොවිඩ් වසංගතයේ බලපෑම මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ වර්ධනයක් වාර්තා වීම විශේෂ ලක්ෂණයකි. 2019 වසරේ සෞභාග්‍යතා දර්ශකය 0.783ක් වූ අතර 2020 වසරේ එය 0.786කි. එසේම උප දර්ශක අතරින් ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ නම් උපදර්ශකයේ වර්ධනයක් දැකගත හැකිය. අනෙකුත් උපදර්ශකවල යම් පසුබෑමක් තිබුණද ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයේ වර්ධනය සමස්ත දර්ශකයේ වර්ධනයක් ඇති වීමට බලපෑවේය.

නවතම සෞභාග්‍යතා දර්ශකයේ වර්ධනයක් දක්නට ලැබුණද, පෙර වසරේ එනම් 2019 වසරේ සෞභාග්‍යතා දර්ශකයේ පසුබෑමක් දක්නට ලැබිණ. එමෙන්ම 2017 වසරේ ද ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය පහළ ගියේය. මේ පසුබිම තුළ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සෞභාග්‍යතා දර්ශකයේ හා ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයේ වර්ධනයක් ඇතිවීම යහපත් තත්ත්වයකි.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය වාර්ෂිකව සකස් කෙරෙන දර්ශකයකි. එවැනි දර්ශකයක අවශ්‍යතාව ඇති වීමට හේතු හා දර්ශකය බිහිවූ ආකාරය, එය ගණනය කෙරෙන ආකාරය ගැන අවබෝධකර ගැනීමෙන් සෞභාග්‍යතා දර්ශකය කියවා ගැනීම පහසුය.

නව ආර්ථික දර්ශනයක්

ආර්ථික සංවර්ධනය ආර්ථික විචල්‍යයන්ට පමණක් සීමා කර මැනීම හෝ නිර්වචනය කිරීම නුසුදුසු බවට නව දර්ශනයක් 70 දශකයෙන් පසු ලෝකයේ ඇති විය. මෙම නව ආර්ථික දර්ශනයෙන් කියැවුණේ ආර්ථික සංවර්ධනය මැනීම සඳහා මෙතෙක් භාවිත කළ මූලික මෙන්ම සම්ප්‍රදායික දර්ශක වූ ඒක පුද්ගල මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට අමතරව ආර්ථිකමය නොවන සමාජමය දර්ශකයන් ද ඊට ඇතුළත් කරගත යුතු බවය. මෙම පසුබිම තුළ මානව සංවර්ධන දර්ශකවල අවශ්‍යතාව මතුවිය.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය බිහිවීමට කරුණු කිහිපයක් බලපෑවේය. සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සමස්ත ජන කොටස්වලට බුක්ති විඳීමට හා තිරසර ලෙස ආදායම් උත්පාදනයට අවස්ථාව සැලසීමෙන් ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම, ප්‍රාදේශීය අසමානතා හා ජන කොටස් අතර අසමානතා අවම කරන තුලිත සංවර්ධනයකට යොමු වීම ඒ සඳහා බලපෑ කරුණුය.

දළ දේශීය නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම වැනි අනෙකුත් දර්ශක මගින් සලකා බැලෙන්නේ රුපියල් වටිනාකම්ය. ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය නීර්ණය කිරීමේදී මූල්‍ය සාධකවලට අමතරව මානව සංවර්ධනයේ ගණනය කළ හැකි වෙනස්වීම් ප්‍රාදේශීයව හඳුනා ගැනීමට උත්සාහ කර ඇත.

සෞභාග්‍යතා දර්ශකය මුල් වරට ප්‍රසිද්ධ කෙරුණේ 2008 දීය. මෙවැනි දර්ශකයක් සකස් කිරීමට අවුරුදු ගණනාවක දත්ත වුවමනා කෙරේ. ඒ සඳහා වසර කිහිපයක පෙර සිට දත්ත එක්රැස් කිරීමෙන් පසු අත්හදා බැලීමේ පදනම මත 2007 වසරේද දර්ශකය සකස් කර ඇත. නමුත් දර්ශකය විධිමත්ව නිකුත් කළ 2008 වසර දර්ශකයේ ආරම්භක වසරය. සෞභාග්‍යතා දර්ශකය දත්ත මාලාවක් ලෙස නිකුත් කරන විට 2007 වසරේ සිට 2020 දක්වා 14ක දත්ත මෙයට ඇතුළත් වෙයි.

සෞභාග්‍යතා දර්ශකය

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය බහුමාන දර්ශකයකි. එමඟින් ආර්ථිකයේ ක්ෂේත්‍ර කිහිපයක ඇති වූ වෙනස්කම් හඳුනා ගැනෙයි. එහිදී ආර්ථිකයේ විචල්‍යන් 41ක් සලකා බැලේ.‍ ප්‍රධාන පැතිකඩ තුනක් ඔස්සේ එම විචල්‍යන් සැලකේ. ඒවා උපදර්ශක නම් වෙයි. ජන ජීවිතයේ යහපැවැත්ම පිළිබඳ උපදර්ශකය, ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ උපදර්ශකය සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් පිළිබඳ උපදර්ශකය එම ක්ෂේත්‍ර තුනයි.

‘ආර්ථිකය හා ව්‍යාපාරික පරිසරය උපදර්ශකය’ තුළින් ආදායම හා දරිද්‍රතාවය, ජීවන තත්ත්වය, මිල ස්ථායිතාව, කර්මාන්ත හා බැංකු ඝනත්වය, සේවා නියුක්තිය යන අංශ නියෝජනය කරයි. ‘සමාජ ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයෙන්’ තොරතුරු හා සන්නිවේදන පහසුකම්, විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම්, අපරාධවලින් තොර පරිසරය සලකා බැලේ.

‘ජන ජීවිතයේ යහ පැවැත්ම’ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපනය, වත්කම්, විනෝදාස්වාදන, පරිසරය යන අංශවල සිදුවන වෙනස්කම් සලකයි.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය සකස් කර ඇත්තේ ලෙගාටම් සෞභාග්‍යතා දර්ශකය (Legatum Prosperity Index) පදනම් කරගෙනය. ලෙගාටම් සෞභාග්‍යතා දර්ශකය සකස් කරන්නේ බ්‍රිතාන්‍ය ආයතනයයි. ලෙගාටම් දර්ශකය ලෝකයේ රටවල් 167ක සෞභාග්‍යතා අගය සලකා බැලේ.

ලෙගාටම් දර්ශකය

ගතව ගිය දශකය ඇතුළත ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශයන්හි දක්නට ලැබෙන ප්‍රගතිය, රටේ සෞභාග්‍යය ප්‍රවර්ධනය වීමට ඉවහල් වී ඇති බව සෞභාග්‍යය සම්බන්ධයෙන් විමසා බලන බ්‍රිතාන්‍ය ආයතනයක් පවසයි.

ගෝලීය දර්ශකයක් වන ලෙගාටම් සෞභාග්‍යතා දර්ශකය, 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිත කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්ය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍යය විශ්ලේෂනාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකයයි.

එමනිසා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ වර්ධනය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ලෙගාටම් දර්ශකය ආශ්‍රයෙන් සසදා බැලිය හැකිය. නමුත් ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය මඟින් හඳුනාගත හැක්කේ පළාත් මට්ටමින් විෂමතාවන්ය. ඒ නිසා ලෙගාටම් හා සෞභාග්‍යතා දර්ශකය සංසන්දනය කළ නොහැකිය. එසේම මේ දර්ශක දෙක සඳහා සලකා බැලෙන විචල්‍යන් ද වෙනස්ය.

ලෙගාටම් සලකා බලන සමහර දත්ත පළාත් මට්ටමින් ඒකරාශී කළ නොහැකිය. ඒනිසා ලෙගාටම් සලකා බැලෙන සමහර විචල්‍යන් ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය සකස් කිරීමේදී සලකා බැලෙන්නේ නැත. ලෙගාටම් සලකා බලන්නේ සියලු රටවලට පොදු කරුණු වන අතර සෞභාග්‍යතා දර්ශකයේ දී දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඇත. මේවා දර්ශක දෙක අතර වෙනස්කම් ලෙස සැලකිය හැකිය.දර්ශක දෙක අතර පවත්නා අනෙක් වෙනස වන්නේ දත්තවල යාවත්කාලීනත්වයයි. ලෙගාටම් සකස් කිරීමේදී අදාළ රටේ සලකා බැලෙන විචල්‍යට අදාළ ඒ වන විට ඇති නවතම දත්තය භාවිත කරන අතර සෞභාග්‍යතා දර්ශකයේදී සලකා බැලෙන වර්ෂයට අදාළ දත්ත පමණක් සලකා බැලේ. මේ අනුව සමහර විට 2019 වසරේ ලෙගාටම් දර්ශකයේ සමහර රටක සලකා බලා ඇති විචල්‍ය 2017 වසරේ එකක් විය හැකිය.

ජනජීවිතයේ වර්ධනයක්

2020 වසරේ ජනජීවිතයේ යහපැවැත්ම උපදර්ශකය ඉහළ ගොස් ඇත්තේ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපන අවස්ථා ඉහළ යාම නිසාය. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම හා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඒ සඳහා හේතු විය. මෙයට අමතරව වසංගත සමයේ කාර්මික ක්‍රියාකාරකම් පහළ යාම, මහජනයාගේ සංචරණය සීමා කිරීම නිසා වායු විමෝචනය පහළ යාම වාතයේ ගුණාත්මකභාවය හා පරිසරයේ පිරිසුදුකම වැඩි දියුණු කිරීමට හේතු විය. සෞභාග්‍යතා දර්ශකය සකස් කරන ආකාරය අවස්ථා කිහිපයකදී වෙනස්ව ඇත‍.

ආර්ථික හා ව්‍යාපාරික පරිසරය උපදර්ශකය 2020 වසරේ පහළයාමට බලපෑ ප්‍රධාන කාරණය වන්නේ කොවිඩ් වසංගතය නිසා විධිමත් හා නොවිධිමත් යන ක්ෂේත්‍ර දෙකේම රැකියා අවස්ථා අහිමිවීමය. එයට අමතරව දුර්වල කාර්ය සාධනය නිසා දේශීය නිෂ්පාදනය අඩුවීම උපදර්ශකය පහළ යාමට බලපෑවේය.

ජන ජීවිතයේ යහපැවැත්ම උප දර්ශකය 2016 වසරේද පහළ යාමක් දක්නට විය. එය 2016 වසරේ 0.52 අගයේ සිට 2017 වසරේ දී 0.38 දක්වා පහත වැටිණ. මෙය සියයට 26.9කින් පහළ වැටීමකි. අනෙකුත් දර්ශක යම් වර්ධනයක් පෙන්වූ බැවින් සමස්ථ දර්ශකය 0.46 සිට 0.50 දක්වා සුළු ඉහළ යාමක් වාර්තා කළේය.

ජන ජීවිතයේ යහපැවැත්ම උප දර්ශකය 2017 වසරේදී අවවර්ධනයට හේතුවී ඇති සාධක වන්නේ පිරිසිදුකම හා වායුගෝලයේ ගුණාත්මකභාවය පහළ යාමය. එම උප දර්ශකයට අදාළ අනෙකුත් සංරචකයන් වන සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් පැවතීම හා ඒවායේ ගුණාත්මකභාවය ඉහළ යාම, ජනතාවගේ වත්කම් හා විනෝද පහසුකම් පැවතීම වර්ධනයව ඇත.

කොවිඩ් වසංගතය නිසා පසුගිය 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල බලපෑමක් ඇති විය. ඒ නිසා ආර්ථිකයේ යම් පසුබෑමක් තිබිණ. ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ උප දර්ශකය පහළ ගියේ එම කරුණ මතය. එය සමස්ථයක් ලෙස සලකා බලන විට විශාල පසුබෑමක් නොව සුළු පසුබැස්මකි.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ පළාත් බද තත්ත්වය ගැන සලකා බලන විට සෑම වසරකම පාහේ දක්නට ලැබෙන්නේ පොදු තත්ත්වයකි. එයට අනුව නිරන්තරයෙන්ම ඉහළතම ස්ථානය වාර්තා කිරීමට බස්නාහිර පළාත සමත්ව ඇත. දෙවැනි හා තෙවැනි ශ්‍රේණි දකුණු හා මධ්‍යම පළාත්වලට හිමිවෙයි. අවම අගයක් වාර්තා කරන පළාත් ලෙස නැඟෙනහිර, ඌව හා උතුරුමැද දැකගත හැකිය.

පළාත් බද තත්ත්වය සලකා බලන විට දර්ශකයේ වැඩිම අගය බස්නාහිර පළාත වාර්තා කළ ද, 2020 වසරේ සෞභාග්‍යතා දර්ශකයේ වැඩිම වර්ධනය දක්නට ඇත්තේ නැඟෙනහිර පළාතේය. ඊට අමතරව දකුණ, උතුරුමැද, වයඹ, ඌව, බස්නාහිර හා උතුර යන පළාත් අනුපිළිවෙළින් වැඩිවීම් වාර්තා කරයි. දර්ශකයේ පසුබෑම් දක්නට ලැබෙන පළාත් වන්නේ සබරගමුව හා මධ්‍යම පළාත්ය.

ආරම්භයේ දී අනුගමනය කළ ක්‍රමය 2014 වසරේදී වෙනස් කළ අතර ඉන්පසු නැවත පසුගිය 2020 වසරේදී සංශෝධනය කළේය. එයින් දර්ශකයේ හැසිරීමට බලපෑමක් සිදුව නැත. දර්ශකය තේරුම් ගැනීමේ පහසුව සඳහා උපදර්ශක දැක්වෙන්නේ 0-1 අතර අගයන් ගෙනි. ඉහළම අගය සෞභාග්‍ය මට්ටම අනුව 1ට ආසන්න වන අතර එහි පසුබෑම දැක්වෙන්නේ 0ට ආසන්න වීමෙනි.

චන්දන ජයවීර

නව අදහස දක්වන්න