වමේ සභාපති හිමි | දිනමිණ

වමේ සභාපති හිමි

රජ සමයේ සිටම රාජ්‍යතන්ත්‍රයට, සිය පාලනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ භික්ෂුන් වහන්සේලාය. පාලකයන් එම අනුශාසනා පිළිගත්ත ද නොගත්ත ද රටවැසියා ද එවැන්නක් බලාපොරොත්තු වූහ. ඊට අමතරව සිංහල ජාතියෙත්, රටේත්, බුද්ධ ශාසනයේත් ප්‍රගමනයට උන්වහන්සේලා කැප වූහ. වාරියපොල සුමංගල, කුඩාපොල ඇතුළු හිමිවරුන් එදා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළහ. නිදහස ලැබීමෙන් පසු නව යටත්විජිතවාදයටත් එරෙහිව භික්ෂුහු සටන් කළහ. පසුකලෙක ඇතැම්හූ භික්ෂුන් වහන්සේලාට දේශපාලනය අකැප යැයි කීව ද 1930 ගණන්වල සිටම මෙරට දේශපාලන බිමේ නම රැන්දූ භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අතිවිශාලය.

ලංකා සම සමාජ පක්ෂයට බැඳී දේශපාලනයට පිවිසි උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ අදීන එඩිතර හිමිනමක ලෙස ප්‍රකටය. මහත්මා ගාන්ධිතුමා සමඟ ඉන්දීය නිදහස් සටනට එක් වී සිරබත් කෑ එකම ශ්‍රී ලාංකිකයා ද උඩකැන්දවල හිමියන්ය. ඒ 1930 දශකයේ මුල් කාලයයි. මුළු ඉන්දියාවම පැවතියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුවය. එදා පාකිස්තානයත්, බංග්ලාදේශයත් නොවීය. ඒ දෙරටම එදා අයත්ව තිබුණේ ඉන්දියාවටය.

එදා බෙංගාලයත් ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් උණුසුම් වී පැවතිණි. ඊට නායකත්වය දුන්නේ සුභාෂ් චන්ද්‍රබෝස් සහ එම්. එන්. රෝයි දෙදෙනා ප්‍රමුඛ පිරිසකි. මහත්මා ගාන්ධි පවසන පරිදි අවිහිංසාවෙන් නිදහස් සටන ජය ගැනීමට නොහැකි බව බෙංගාල වැසියෝ විශ්වාස කළහ. බෙංගාලයට නායකත්වය දුන් ඉහත නායකයෝ ද ජනතාවට උපදෙස් දී තිබුණේ අවි ගත් අධිරාජ්‍යවාදීන් අවියෙන්ම පරාජය කළ යුතු බවය.

බෙංගාල විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා එදා ආරාධනා ලැබ සිටියේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාටය. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ආණ්ඩුකරුගේ සුරතින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උපාධි සහතික ලබා ගනිමින් සිටියහ. එහෙත් හදිසියේම වෙඩි හඬකින් මුළු ශාලාවම දෙදරුම් කෑවේය. ආණ්ඩුකරුට වෙඩි වැදී වේදිකාව මත පතිත වූයේය. උපාධිය ලබා ගැනීමට ආ ‘වීණාදාස්’ යුවතිය සඟවා ගෙන ආ පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා තිබිණි. පොලිස් නිලධාරීහු ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. ඇය උසාවියේ සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

“මම හැදුනේ වැඩුනේ හින්දු ආගමේ දැඩි විනයගරුක පසුබිමක. මා දුර්වල තරුණියක්. එහෙත් මෙවැනි බියකරු දෙයකට මා පෙලඹවූයේ මගේ මාතෘභූමිය වසර ගණනාවක් තිස්සේ පාගාගෙන සිටින මගේ රටේ මිනිසුන්ට පීඩා කරන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයයි. මිය ගිය ආණ්ඩුකරු මගේ පියා වැනිය. ඔහුගේ ආර්යාව මට මාගේ මව වැනිය. ඒත් ඔවුන් මගේ රට සූරාකමින් ජනතාව පෙළන අධිරාජ්‍යවාදයේ නියෝජිතයෝය. ඔවුන් මරණයට සුදුස්සන් වන්නේ එනිසාය.”

ආණ්ඩුකාර ඝාතනයත් සමඟ පොලිස් නිලධාරීහු බෙංගාලය පීරමින් අධිරාජ්‍ය විරෝධීන් සොයා අත්අඩංගුවට ගැනීම් ඇරඹූහ. පාසල්, විශ්වවිද්‍යාල, කාර්යාල තුළට කඩා වැදෙමින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

එදා කල්කටා විශ්වවිද්‍යාලයේ සිටිකොලේජ්හි උගනිමින් සිටි තරුණ ලාංකික හිමිනමක් වූ උඩකැන්දවල සිරිසරණංකර හිමිනම ද එසේ අත්අඩංගුවට පත්වූවන් අතර වූහ. එහෙත් උන්වහන්සේ ත්‍රස්ත ක්‍රියාවන්ට හෝ මිනීමැරුම්වලට කිසිදු සම්බන්ධයක් නොතිබිණි. උන්වහන්සේ අත්අඩංගුවට පත් වූයේ ඉන්දීය නිදහස් සටනට එක්ව සිටි ප්‍රබල නායකයන් සරණංකර හිමියන්ගේ හිතවතුන් වීම නිසාය.

රන්බණ්ඩාර නමින් 1902 ජනවාරි 07 වැනිදා කුරුණෑගල හිරියාල ගමේ උපන් උන්වහන්සේ 1915 දී හට ගත් සිංහල මුස්ලිම් ගැටුම සමයේ පාසල් ශිෂ්‍යයෙකි. ගිහි කල රන්බණ්ඩාර හේනව ගමේ සිට පාසල් ගියේ සැතපුම් පහක් පමණ පා ගමනිනි. ඒ මඟ වැටී තිබුණේ අලි වලසුන් සහිත වනාන්තරයක් මැදිනි.

“පාසලට පිටත්ව යන බොහෝ දිනවල මා තුළ කොතරම් ප්‍රීතියක් ඇති වූවා ද කිවහොත් තනිවම කැලෑව මැද විශාල ගසක් උඩට වී නැතිනම් ගස් යටින් මහ වනය මැද්දේ හුදෙකලාව ඇවිදීමට මම ප්‍රිය කළෙමි. මේ නිසා පාසලට ගොස් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේ, බොහෝ වාරවල මම ගුටි කෑවෙමි.

මේ පාසලට යන අතරමග කැලෑ පෙදෙසක ගල්ලෙන් සහිත පැරණි වේරගල විහාරය දක්නට ලැබේ. මිතුරන් දෙදෙනාත් සමඟ මේ විහාරයට යාමට නිතරම අපි පුරුදු වී සිටියෙමු. ඒ වන්දනාව පිණිසම නොවේ, බුද්ධ පූජාව කෑමටය. එහි කිසිදු භික්ෂුවක සිටියේ නැත. දිනපතා සැදැහැති ගැමියෝ මැටි පාත්තරවල බුද්ධ පූජාව තබා ගියහ. අප තුන්දෙනා විහාරය අතු ගා බුදුන් වැඳ බුද්ධ පූජාව බෙදා ගෙන කෑවේ ඒ අපට අයත් කොටසක් සේ සලකාගෙනය. ඒ ගැන හිතෙන විට ලැජ්ජාව පවා ඇති වේ. බඩගිනි වැඩි දවස්වල අපි දෙවියන්ට ද පින් දෙමින් බුද්ධ පූජාව කෑවෙමු.”

මේ උඩකැන්දවල සරණංකර හිමිපාණන්ගේ ස්වයංලිඛිත චරිතාප්‍රදානයේ එන සාරාංශයකි. 1915 දී සිංහල - මුස්ලිම් ගැටුමත්, එහි දේශපාලන පසුබිමත් වැඩිහිටියන්ගේ කතාබස්වලින් තේරුම් ගත් රන්බණ්ඩාර ශිෂ්‍යයාට පසුකලෙක අධිරාජ්‍යවාදී විරෝධියකු වීමට බලපෑවේ එම සිද්ධිය වන්නට ඇතැයි පැවසේ.

ඉන් වසර කීපයකට පසු කටුවන්නෑවේ ගුණානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යයකු බවට පත් වූ උන්වහන්සේ 1921 දී අනගාරික ධර්මපාලතුමාගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහාය වෙමින් එතුමන්ගේ මහා බෝධි සංගමයේ කටයුතු පවත්වාගෙන යාමටත්, මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් සෙවණේ බෙංගාලි බස ඉගෙනීමටත් ඉන්දියාවට වැඩම කළහ.

ඉන්දියාවේ බුද්ධගයාව, හින්දුන්ගෙන් ගලවා ගැනීමට ධර්මපාලතුමා ගෙන ගිය සටනත්, එතුමා කීපවරක් සිරභාරයට පත්වීමත් උන්වහන්සේගේ අධිරාජ්‍ය විරෝධියෙක් බව වර්ධනය කරලීමට හේතු විය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ නායකයන් සමඟ සබඳතා හේතුවෙන් 1932 දී සිරගත වන්නට සිදු වූ උඩකැන්දවල හිමියන්ට ඉන් නිදහස් වීමට හැකි වූයේ 1936 දීය. වසර 4 ක් තිස්සේ සිරබත් කෑ උන්වහන්සේ 1936 අප්‍රේල් මාසයේදී කල්කටාවේ සිට යළි මෙරටට පිටත් කොට එවනු ලැබූහ. එකල මෙරට අධිරාජ්‍ය විරෝධීන් ලෙස පෙනී සිටියේ ලංකා සමසමාජ පක්ෂයයි.

උඩකැන්දවල හිමියෝ ලසසපයට එක්වී මෙරට දේශපාලන කටයුතු ඇරඹූහ. 1937 දී “සමසමාජ ක්‍රමයක් ලංකාවට වුවමනා මන්ද” මැයෙන් පොත් පිංචක් ලියා මුද්‍රණය කර බෙදාහැරියහ. උන්වහන්සේගේ අදහස්වලට එරෙහිව එදා පියදාස සිරිසේන මහතා ‘සිංහල ජාතිය’ පත්‍රයට ලිපි ගණනාවක් ලියුවේය. එහිදී ඔහු උන්වහන්සේ හැඳින්වූයේ ‘කැන්දකොළයා’ යන යෙදුමෙනි.

1939 දී සමසමාජ පක්ෂය කැඩී වෙන් විය. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් පක්ෂයෙන් නෙරපා දැමිණි. ඒ නෙරපු පිරිස අතර උඩකැන්දවල හිමියෝ ද වූහ. 1940 මැයි 09 වැනිදා රාත්‍රියේ පිටකොටුවේ බෞද්ධ ශාලාවට විශාල කම්කරු පිරිසක් රැස්ව සිටියහ. එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මැන්දිස්, කේ. රාමනාදන් යනාදීහු එම රැස්වීම ඇමතූ අතර උඩකැන්දවල හිමියෝ ඉන්දීය නිදහස් සටන පිළිබඳව කතාවක් පැවැත්වූහ. එම කතාවෙන් පිරිස ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.

එහිදී පැය අටක වැඩ දිනයක්, සතියකට දින එකහමාරක නිවාඩුවක්, කෑමට පැයක් යන කම්කරු ඉල්ලීම් මුල්වරට සභා සම්මත කර ගැනිණි. 1943 ජූලි 3 වැනිදා ආරම්භ කළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම සභාපති ධුරයට පත් කෙරුණේ උඩකැන්දවල සිරිසරණංකර හිමියන්ය.

1940 ගණන්වලදී උන්වහන්සේ හික්කඩුවේ තිරාණගම පැවති රැස්වීමකදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ප්‍රබල හඬක් නැඟීම හේතුවෙන් යළි අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය.

අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මවුබිමේ නිදහස වෙනුවෙන් සටන් කිරීම අපරාධයක් නම් තමන් ඊට වැරැදිකරු බවත්, එය අපරාධයක් ලෙස අධිරාජ්‍යවාදී ගැත්තන් පිළිගත්තත් තමන් එය පිළිගන්නේ නැති බවත් උන්වහන්සේ එහිදී පැවසූහ.

මවුබිමේ නිදහස වෙනුවෙන් එසේ අරගල කළ උඩකැන්දවල හිමියන්ට 1942 ජුනි 30 වැනිදා සිට මෙරටදී යළි සිරබත් කන්නට සිදු විය. උන්වහන්සේ ඉන් නිදහස් වූයේ 1944 ජුනි මාසයේදීය. නිදහස් වූ පසු උන්වහන්සේ 1945 සිට 1947 දක්වා සෑම ජනතා අරගලයකදීම මුල්තැන සිට ගත්හ.

අන්තර්ජාතික සාමය වෙනුවෙන් උන්වහන්සේ කළ සේවාවට ගරු කිරීමක් ලෙස 1957 නොවැම්බරයේදී සෝවියට් රුසියාවේ ‘ලෙනින්’ සාම ත්‍යාගයෙන් උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ පිදුම් ලැබූහ.

1966 ‍ෙනාවැම්බර් 13 වැනිදා සරණංකර හිමියෝ අපවත් වූයේ ජාතික විමුක්තිය සහ සැබෑ නිදහස ලබාගැනීම සඳහා වූ මඟ වැටී ඇත්තේ වරප්‍රසාද මත නොව උසාවි හා බන්ධනාගාර මැදින් වැටුණු කටුක මඟක් ඔස්සේ බව සිය අනුගාමිකයන්ට පෙන්වා දෙමිනි.

බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න