හයසීයක් අනාථ කළ ගෝල්ෆේස් වර්ජනය | දිනමිණ

හයසීයක් අනාථ කළ ගෝල්ෆේස් වර්ජනය

මලික් චමින්ද ධර්මවර්ධන

එක් දහස් නවසිය විසි ගණන් වනවිට ජයග්‍රාහී මාවතක පැවැති ගුණසිංහයන්ගේ වැඩ වර්ජන තිහේ දශකය ආරම්භයත් සමඟම බිද වැටෙන්නට විය. ඔහු ක්‍රියාත්මක කළ වැඩ වර්ජන එකින් එක පරාජයට පත් විය. .එහි පළමු පරාජය අත්වූයේ ලේක් හවුසියෙනි. දෙවැන්න ද පුවත්පත් ආයතනයක් විය. ඒ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේදී ලද පරාජයයි. පසුව 1933 වර්ෂයේදී ක්‍රියාත්මක කළ ගෝල්ෆේස් හෝටලයේ වර්ජනයද අසාර්ථක විය.

තිහේ දශකයේ කොළඹ නගරයේ තිබූ ප්‍රධානම හෝටලය වූයේ ගෝල්ෆේස් හෝටලයයි. බ්‍රිතාන්‍ය සතුව පැවැති එම හෝටලය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සංචාරකයන්ට වෙන්වී තිබිණි. කෙසේ වෙතත් මේ කාලවකවානුවේ ඇතිවී තිබූ ආර්ථික පරිහානිය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින් පහත වැටී තිබිණි. එය හෝටලයට ද අත්විදින්නට සිදුව තිබිණි. පාඩු පිට පාඩු වාර්තා වූ කාල පරිච්ඡේදයක් හෝටල් හිමියන්ට උදාවිය. ගෝල්ෆේස් හෝටලයේ වර්ජනය සිදුවන්නේ මෙවන් වාතාවරණයක් රට පුරා ව්‍යාප්තව පවතින විටය.

මේ වනවිට ලංකාවේ සක්‍රිය කම්කරු සමිතිය වූයේ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු සංගමයයි. සිංහල කම්කරුවන්ට උදාවී පැවැති තත්ත්වය මත කම්කරු සංගමය මේ වනවිට දැඩි දකුණු ඉන්දියානු විරෝධයක් දක්වමින් සිටියේය. විශේෂයෙන්ම ලාංකික කම්කරුවන්ට රැකියා හිඟ වීමට ඉන්දියානු මලයාලි ජාතිකයන්ගේ පැමිණීම බලපා ඇති බව ප්‍රකාශ කරමින් කම්කරු සටන් සිදුවන බව පෙනීයයි. ලංකා වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කරන විට ඉන්දියාවෙන් පැමිණ සිටි ද්‍රවිඩ, මලයාලි හා මුස්ලිම් වැනි කම්කරුවන් සමඟ සහයෝගයක් ගුණසිංහ මහතාට තිබිණි. එහිදී ඔහු කියා සිටියේ කම්කරු ව්‍යාපාරය කුලය, ජාතිය හෝ ආගම පදනම් කොට ක්‍රියාත්මක නොකරන බවය. එහෙත් රටේ ඇති වෙමින් පැවැති ආර්ථික පරිහාණියත් සමඟම කොළඹ නගරයේ රැකී රක්ෂා හිඟයක් නිර්මාණය විය. ඒ සමඟම ජාතිභේදය සලකා කටයුතු කරන්නට විය. එහෙත් ඉන් ගුණසිංහ මහතාගේ ව්‍යාපාරය දිනෙන් දින පරිහානිය කරා ගිය බව දක්නට ලැබේ.

ගෝල්ෆේස් හෝටලයේ ප්‍රධාන වේටර්වරයා ලාංකික වේටර්වරුන් රැසක් සේවයෙන් ඉවත්කරන්නේ මෙවැනි පසුබිමකය. මෙකල සාමාන්‍ය ලෙස හෝටලයේ වේටර්වරයකුට රුපියල් 19 ක මාසික වැටුපක් ලැබිණි. නවාතැන්, ඉඳුම් හිටුම් ද ඔවුන්ට හිමිවිය. ඊට අමතරව ආහාර ගැනීමට පැමිණෙන බාහිර පුද්ගලයන්ගෙන් සන්තෝසම් මුදලක්ද හිමිවිය. මේ අතර දිනක හෝටලයේ ආහාර ගැනීමට පැමිණි රොදර්මියර් සාමිවරයා වේටර්වරුන් අතර බෙදා ගැනීම සඳහා රුපියල් සියයක සන්තෝසම් මුදලක් ප්‍රධාන වේටර්වරයා වෙත ලබාදී තිබිණි. එහෙත් එය තමා සතුකර ගත් ප්‍රධාන වේටර්වරයා සෙසු පිරිසට බෙදා දීමක් නොකළ බවට චෝදනාවක් විය.

තවද ඉතාලි ජාතිකයකු වූ ප්‍රධාන වේටර්වරයා හදිසියේම වේටර්වරු හය දෙනකු අස්කර දමා අලුතින් වේටර්වරු සේවයට ගැනීමට කටයුතු කර තිබිණි. අලුතින් ගත් පිරිස අතර මලයාලි ජාතිකයෝද වූහ. මේ තත්ත්වය නිසා උරණ වූ හෝටල් සේවකයෝ ගුණසිංහ මහතාගේ අවධානයට මේ සිදුවීම් පෙළ යොමු කළහ. තවත් කෙටි කලක් ගතවෙත්ම සේවකයන් රැසක් සේවයෙන් නෙරපා හැරීමට හෝටල් පාලනාධිකාරිය කටයුතු කළේය. මේ සිදුවීම් මාලාව නිසා කෝපයටත්, කලකිරීමටත් පත් සේවකයෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවූහ.

මේ වනවිට වෘත්තීය සමිති සංගමය සහ සේව්‍යයන්ගේ සම්මේලනය අතර ගිවිසුමක් ක්‍රියාත්මකව පැවැතිණි. කම්කරුවන් අස් කිරීම මගින් හෝටල් පාලනාධිකාරිය එම ගිවිසුම කඩා දමා ඇති බව ගුණසිංහ මහතා චෝදනා කළේය. ඒ සමඟම වර්ජනයට දින හතකට කලින් සේව්‍යයන්ට දැනුම් නොදුන් හෙයින් වර්ජකයෝද ගිවිසුම උල්ලංඝනය කර ඇතැයි යනුවෙන් පාලක මණ්ඩලයද චෝදනාවක් එල්ල කළේය.

මේ වනවිට ගුණසිංහයන්ගේ කම්කරු සටන් ක්‍රමයෙන් පරිහානිය කරා යමින් පැවැතිණි. එහි පළමු අවස්ථාව වූයේ ලේක්හවුස් වැඩ වර්ජනය අසාර්ථක වීමයි. ඊළඟට ටයිම්ස් ඔෆ් සිලෝන් සේවකයන්ගේ වර්ජනයද අසාර්ථක විය. ඊළඟට කම්කරු සංගමය නායකත්වය දුන් වර්ජනය වූයේ ගෝල්ෆේස් හෝටලයේ වර්ජනයද මුල පටන්ම පැවැතියේ කම්කරුවන්ට අවාසිදායක වන ආකාරයටය. මෙහිදී වර්ජනයේ නියුතු සේවකයන් වෙනුවට නව සේවකයන් කඩිනමින් බඳවා ගැනීමට හෝටල් පාලක මණ්ඩලය සමත් විය. විශේෂයෙන්ම වේටර්වරු වර්ජනය ආරම්භ කර කෙටි කලක් යත්ම ඔවුන්ට සහය දැක්වීමට හෝටලයේ කසළ ශෝධක කම්කරුවෝ ද වැඩ නතර කළහ. එහෙත් හෝටල් පාලනාධිකාරියට රැකියා විරහිතව සිටි වෙනත් කසළ ශෝධක පිරිස් ඉතා පහසුවෙන් සොයා ගත හැකි විය. ඒ සමඟම සියලුම ඇබෑර්තු තමන් විසින් පුරවා ලැබ ඇතැයි යනුවෙන් දන්වා සිටීමට හෝටල් පාලනාධිකාරිය දන්වා සිටින ලදි.

හෝටල් වැඩ වර්ජනයට සමාන්තරව වෙනත් ආයතනවල කම්කරුවන් සමඟ සහයෝගිතා වර්ජනයක් සංවිධානය කිරීමද කම්කරු සංගමය උත්සාහ දැරූහ. එයද අසාර්ථක විය.

ගුණසිංහයන්ගේ සියලු උත්සාහයන් අසාර්ථක විය. මේ අනුව දරුණු පරාජයක් උරුමකරගත් කම්කරු සංගමය සමඟ යළිත් සාකච්ඡා පැවැත්වීමට හෝටල් පාලක මණ්ඩලය එකඟවූයේ ද නැත. එපමණක් නොව වැඩ වර්ජනයට දායක වූ වේටර්වරු 163 දෙනා ආපසු සේවයට එක්කර ගැනීමද පාලකයෝ ප්‍රතික්ෂේප කළහ. මේ අනුව එම 163 දෙනාට රැකියා අහිමි වූහ. එමෙන්ම ලංකා හෝටල් සංගමයේ සාමාජිකයන් වූ විශාල හෝටල් සියල්ලම මේ වර්ජනයට දායක වූ කම්කරුවන්ට රැකියා ලබා නොදීමට තීරණය කර තිබිණි. කම්කරුවන්ට සිදුවූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පෙත්සමක් ඉදිරිපත් කිරීමටය. මෙහිදී කම්කරුවන් කියා සිටියේ වෙනත් කිසිම හෝටලයකින් තමන්ට රැකියා ලබා නොදෙන බවය. එම නිසා හයසියයකට අධික වූ තමන්ගෙන් යැපෙන්නන් හාමතෙන් පසුවන බවත් දන්වා සිටියහ. ඒ අනුව කම්කරුවන්ට එරෙහි තහනම ඉවත්කරන ලෙස පොලිස්පතිවරයා ලංකා හෝටල් සංගමයට ආයාචනා කළේය. එහෙත් හෝටල් සංගමය පොලිස්පතිවරයාගේ ඉල්ලීම එක එල්ලේම ප්‍රතික්ෂේප කළේය. තම සංගමය සේව්‍යයන්ගේ සම්මේලනයට අයත් බව කී ඔවුන් එහෙයින් සම්මේලනයේ සාමාජිකත්වය දරන සංගමයකට අයත් සාමාජික ආයතනයකින් ඉවත් කරනු ලැබූ හෝ වැඩවර්ජනයක යෙදීම නිසා වැඩ තහනම් කරනු ලැබූ හෝ කිසිම පුද්ගලයකුට, සම්මේලනයේ කිසිම සාමාජිකයකු විසින් ඒ බව දැන දැනම රක්ෂාව නොදිය යුතුය යන නීතිය පිළි ගැනීමට තම සංගමය බැදී සිටින බව ප්‍රකාශ කළේය.

මේ අනුව එක දිගට සිදුවූ තුන්වැනි දැවැන්ත පරාජය වැලඳ ගැනීමට කම්කරු සංගමයටත්, කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාටත් සිදුවිය. 1890 දශකයේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවත නවසිය විස්ස දශකයේදී උපරිම තත්ත්වය කරා පැමිණි කම්කරු සටන් තිහේ දශකය වනවිට කඩා බිඳ වැටීම මේ ආකාරයෙන් ආරම්භව තිබිණි.

නව අදහස දක්වන්න