කුලියට විරෝධතා | දිනමිණ

කුලියට විරෝධතා

කාබනික වගාව පරාජය කිරීම සඳහා විරෝධතා දක්වන අයට මුදල් ගෙවන්න සමහරුන් ඉදිරිපත් වූ බව ද ඒ සඳහා කැමරාව ඉදිරියේ යම් රංගනයක යෙදෙන කෙනකුට රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවීමට ඇතැමුන් ඉදිරිපත් වූ බව ද ගොවි සංවිධානවල නි‍යෝජිතයෝ පෙන්වා දෙති. මෙය ඉතා වටිනා හෙළිදරවුවක් වන්නා සේම කාගේත් විමසුමට ලක් විය යුතු කාරණයක් ද වන්නේය. මේ මතය පළ කරන්නේ දේශපාලකයන් නොව, හොඳ ගොවියන් බැවින් එහි බරපතළකම තවදුරටත් වැඩි වෙයි. කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට පැමිණ සිටි ජාතික ගොවි සම්මේලනයේ නියෝජිතයෝ ඉහත අදහස් පළ කර සිටියහ.

ගෙවී ගිය මාස කිහිපය තුළ රූපවාහිනී තිරය දෙස බලා සිටි අයට දැකගන්නට ලැබුණේ හොඳ දේවල් නොවේ. සමහරු පොහොර මලු පොළොවේ ගැසූහ. තව සමහරු දියර පොහොර බිමට හැළූහ. තවත් සමහරු වී ගස් උදුරා අහසට වීසි කළහ. බොහෝ විරෝධතාවලදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ පඹයකු රැගෙනවිත් ඊට අතින් - පයින් පහරදී පසුව ගිනි තැබීම සිදු විය. ඉතා අශීලාචාර වචන භාවිත කරමින් කෘෂිකර්ම ඇමැතිට, ජනාධිපතිට බැණ වදින දර්ශන ද එම වීඩියෝ පටවලට ඇතුළත්ය. මේවා නිරීක්ෂණය කරන කෙනකුට ගොවි විරෝධතා සංවිධාන කරන ලද නාට්‍යය යැයි සිතාගන්න පුළුවන. එහෙත් මේ ඔස්සේ සැලකිය යුතු පිරිසක මුළා වීමටත් පුළුවන.

කාබනික වගාවට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි මතයක් සමාජය තුළ පැතිර තිබුණ ද එය ප්‍රබල සංවාදයක් ලෙස ගොඩනැඟුණේ නැත. රසායනික පොහොර සමාගම් ද කුමන්ත්‍රණයේ හවුල්කරුවන් වන්නට ඇත. ඒ අනුව විරෝධයේ හඬ උත්සන්න විය. තව අතකින් කාබනික වගා ව්‍යාපෘතියේ දුර්වලතා පැවතිණි. රජයේ ඇතැම් නිලධාරින් ද කාබනික වගාවට එරෙහිව ක්‍රියා කර ඇත. සමස්ත ප්‍රතිඵලය වූයේ කාබනික පොහොර විරෝධතාව සියල්ලට ඉහළින් නැඟී සිටීමය. ගොවියෝ ද ක්ෂණිකව අතට මුදලක් ලැබෙන දේවලට වහා එක්වෙති. එහෙත් මේ බොරුව දිගටම කරගෙන යෑමේ හැකියාවක් නැත. දැන් සියල්ල හෙළිදරවු වීමට පටන්ගෙන තිබේ.

තමන් තරම් ගර්හාවට, විවේචනයට හා පීඩනයට ලක් වූ තවත් දේශපාලකයකු නැතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කියා ඇත. එය සත්‍යයෙකි. අමාත්‍යවරයා එල්ලකොට තදබල විරෝධතාවක් ගොඩනඟා තිබූ බව පෙනෙයි. ඔහු කළ වරද වන්නේ රජයේ යහපත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට උපරිම වශයෙන් කැප වීමය. ජනාධිපතිවරයා කාබනික පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ රටේ අනාගත යහපත සලකාගෙනය. මුළුමහත් ලෝකයම මේ වන විට කාබනික ‍වගාව කෙරෙහි උනන්දුවක් දක්වයි. ඊට ප්‍රධාන හේතුව අනාගත මානව සමාජයේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයි. ශ්‍රී ලංකාවේ කාබනික වගාවට සහාය දැක්වීම සඳහා රටවල් ගණනාවක් ඉදිරිපත් වී ඇත. ජගත් පාරිසරික සංවිධාන සේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අපේ කාබනික වගාව අගය කර තිබේ.

තත්ත්වය එසේ වුව අපේ කෘෂිකර්ම අමාත්‍යවරයා කාබනික වගාව නිසා පීඩාවට හා ගර්හාවට ලක් වන තැනැත්තකු බවට පත්ව සිටී. ඇතැම් නිලධාරින් ද ඔහු විවේචනය කරන බව පෙනෙයි. පොහොර හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා අමාත්‍යවරයා උපරිමයෙන් ක්‍රියා කළ ද නිලධාරින් ඊට සහාය දැක්වූයේ නැත. නිලධාරින් පමණක් නොව, ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලකයන් ද අමාත්‍යවරයා‍ට එරෙහිව ක්‍රියා කළ බව පෙනෙයි. මේවා මුලින් කී කුමන්ත්‍රණයේ කොටස් ලෙස හඳුනා ගත හැකිය. දේශපාලකයන් කඹ අදින විට රාජ්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. නිලධාරින් කර අරින විට ද එම වැඩසටහන් සාර්ථක වන්නේ නැත. මේ කාරණා දෙකම කාබනික කෘෂිකර්මය කෙරෙහි බලපෑ බව සිහි තබා ගැනීම වැදගත්ය.

කාබනික වගාවේ අගය වටහාගෙන ඇති ඉන්දීය ආණ්ඩුව මහා පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා කාබනික පොහොර භාවිත කරන්නේ කෙසේදැයි ක්‍රමෝපායන් සොයන්නට පටන්ගෙන තිබේ. 2018 සිට ඊට අදාළ නියැදි ක්‍රියාත්මක වෙයි. ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තය 2003දී පමණ කාබනික වගාවට යොමු වූ අතර, අද එහි සමස්ත කෘෂිකර්මය පවතින්නේ කාබනික පොහොර මතය. සිකීම් ප්‍රාන්තය කාබනික රාජ්‍යය ලෙස ද හඳුන්වනු ලැබේ. සිකීම් ප්‍රාන්තයේ ආහාර-භෝග නිෂ්පාදනවලට ලොව පුරා අධි ඉල්ලුමක් පවතී. එහි තරුණ පරම්පරාව කාබනික පොහොර වගා ව්‍යාපෘතිවලට වැඩියෙන් නැඹුරු වී සිටිති. සිකීම් ප්‍රාන්තය කාබනික වගාව ආරම්භ කරන විටත් ඊට එරෙහිව විරෝධතා ගොඩනැඟුණේ නැත. එහි ගොවි සමාජ කාබනික වගාව පිළිබඳ හොඳ වැටහීමකින් පසුවෙයි.

අපේ ගොවි විරෝධතා නිසා සැලකිය යුතු පාඩුවක් රටට සිදු වී ඇත. ප්‍රකාශයට පත් වී ඇති ආකාරයට මහ කන්නයේ වී අස්වැන්නෙන් 30%ක පමණ ප්‍රමාණයක් අඩු විය හැකිය. එළවළු හා පලතුරු අස්වැන්න ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකිය. කාබනික වගාව නිසි අයුරින් සිදු වූයේ නම්, ඉහත පාඩුව සිදු වන්නේ නැත. ගොවියන්ට ද වඩා මේ පාඩුවට වගකිවයුතු වන්නේ විරෝධතා සංවිධාන කළ කුමන්ත්‍රණකරුවන්ය. කුමන්ත්‍රණය පසුපස සංකීර්ණ ජාලයක් ඇති බව පැහැදිලිය. දේශපාලන ක්‍රියාධරයන්, ව්‍යාපාරිකයන්, පොහොර සමාගම්, ජනමාධ්‍ය මේ අතර ප්‍රධානය. මේ සමූහයේ වෑයම වූයේ රටේ කෘෂිකර්මය අවසානයි යන්න හඟවා ජනතාව පාරට බැස්සවීමය. එහෙත් එය එසේ සිදු වූයේ නැත. දැන් මේ චක්‍රය අනෙක් පැත්තට කැරකෙන්නට පටන්ගෙන තිබේ.

නව අදහස දක්වන්න