මුලින් ආ කවාජා කලින් යයි | දිනමිණ

මුලින් ආ කවාජා කලින් යයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඊයේ හෝබාර්ට්හිදී පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 241ක් රැස් කර තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා වීම නිසා පළමු දිනයට ක්‍රීඩාව නතර කෙරිණි.

මේ තරගයේදී පිතිකරණයේ වෙනසක් කරමින් මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කළ උස්මාන් කවාජා ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළ අතර, ඔහුගේ ඉනිම ලකුණු 6කට සීමා විය.

මේ තරගාවලියේ සිව්වැනි තරගයේදී ශතක දෙකක් වාර්තා කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් ඔහු මේ තරගයේදී ආරම්භක පිතිකරු ලෙස කැඳවා තිබිණි.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් ලකුණු රැස් කිරීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ඔලී රොබින්සන් සමත් විය. මුළු ලකුණු 12දී කඩුලු 3ක් අහිමි වූ ඔස්ට්‍රේලියා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස මානස් ලැබුස්චේන් දැවී ගියේ ලකුණු 44ක් රැස් කර සිටියදීය.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව 5 වැනි කඩුල්ලට ට්‍රෙවිස් හෙඩ් සහ කැමරන් ග්‍රීන් එක්ව ලකුණු 121ක් එක් කළේය.

ඊයේ සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ හෙඩ් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් එල්ල කර තිබූ අතර, පන්දු 109කදී හතරේ පහර 8ක් එල්ල කළ ග්‍රීන් ඊයේ රැස් කළේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

අද තරගයේ දෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න