බූස්ටර් මාත්‍රාව ගැන පැතිරෙන කටකතා බොරු | දිනමිණ

බූස්ටර් මාත්‍රාව ගැන පැතිරෙන කටකතා බොරු

සන්ධ්‍යා කරුණාරත්න

- විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර

ප්‍රමාණවත් තරම් බූස්ටර් එන්නත් මාත්‍රා රට තුළ තිබියදීත් එය ලබා නොගැනීමෙන් නව කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා පැවසුවේය.

බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇති වන බවට පවතින කට කතාවන්හි කිසිදු සත්‍යතාවක් නැති බවත් කට කතාවන්ට නොරැවටී මේ එන්නත් මාත්‍රාව ගැනීමට යොමු විය යුතු බවත් ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (13) පැවසුවේය.

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙළ යටතේ මේ වන විට ජනගහනයෙන් මිලියන 16 ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14 ක් පමණ එන්නත් දෙකම ලබාගෙන ඇතැයි ද‍, කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩු වන නිසා දෙවන මාත්‍රාව ගෙන මාස 03 කට පසුව බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකි යැයි ද ඒ මහතා කීය.

එක්සත් රාජධානියේ කරන ලද පරීක්ෂණයකට අනුව දෙවැනි එන්නත ගත් පසු රෝගය වැළඳී රෝහල් ගත නොවීමේ ආරක්ෂණය සියයට 100 ක් වන අතර ඉන් මාස දෙකකට පසුව සියයට 70 ක් දක්වා අඩුව ගොස් මාස 06 කට පසුව සියයට 50 ක් දක්වා අඩු වන බව තහවුරු වී ඇතැයි ද, බූස්ටර් එන්නත ගෙන සති දෙකෙන් සියයට 90 ක් දක්වා ඉහළ යන එම ආරක්ෂණ මට්ටම මාස තුනකට පසුව ද නොවෙනස්ව පවතින්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න