Skills for Inclusive Growth කලාප කාර්යාලය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් අතින් විවෘත වෙයි | දිනමිණ

Skills for Inclusive Growth කලාප කාර්යාලය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් අතින් විවෘත වෙයි

Skills for Inclusive Growth (S4IG) ව්‍යාපෘතියේ සිව් වැනි ප්‍රාදේශීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේව්ඩ් හොලි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (9) ඇරඹිණි. S4IG යනු ඔස්ට්‍රේලියා රජයේ ආධාර යටතේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික සහ කලාප මට්ටමේ රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනකි. සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනය තුළින් සාධනීය වෙනස්කම් ඇති කිරීම S4IG වැඩසටහනේ අරමුණයි.S4IG පසුගිය වසර ගණනාව පුරා වරප්‍රසාද අහිමි පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රැකියා උත්පාදනයට, ආදායම් සහ ව්‍යාපාර වර්ධනයට දායක වී ඇත. නව කාර්යාලය විවෘත කිරීමට සමගාමීව ප්‍රතිලාභ ලැබූවන්ගේ සහ වැඩසටහන්වල ප්‍රගතිය ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. මහ කොමසාරිස්වරයා උත්සව සභාව අමතමින් පැවසුවේ වසර ගණනාවක් පුරා මේ වැඩසටහනේ කොටස්කරුවකු වීම ගැන සතුටු වන බවය. කොවිඩ් වසංගතය පාලනය කිරීමෙන් පසුව කුසලතා සංවර්ධනය මඟින් සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය. 

මේ උත්සවයට පොළොන්නරුව දිසාපති ඩබ්ලිව්.ඒ.ධර්මසිරි, අනුරාධපුර අතිරේක දිසාපති ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්. වණසිංහ, උතුරු මැද පළාත් සභාවේ සංචාරක හා සැලසුම් අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුමාර බෝපගේ, රජරට විශ්වවිද්‍යාලයේ සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණ අංශ ප්‍රධානනි කේ.ටී.එන්.පී. අබේවික්‍රම, පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති එච්.ඩී.ඩී. ගුණසේකර, පොළොන්නරුව සංචාරක නිවාස සංවිධානයේ සභාපතිනි ශ්‍යාමලී දීප්තිකා, අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂනාත් ගුණසේකර, හබරණ හෝටල් සංවිධානයේ සභාපති රුවන් ගුණවර්ධන, හබරණ මහා විද්‍යාලයේ විදුහල්පතිනි මොනිකා සුදර්ෂිනි යන මහත්ම මහත්මීන් මෙන්ම ලංකා සූපවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ සහ හොටෙල් අමායා සමාන්‍යධිකාරි, හබරණ ලොජ් ප්‍රධාන පරිසරවේදී ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මේ වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබූවන් පැවසුවේ කුසලතා සංවර්ධනය පුද්ගලයන්ගේ මෙන්ම ව්‍යවසායකයන්ගේ වර්ධනයට ඉතා වැදගත් බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ නිපුනතා සංවර්ධන දශකය තුළ ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනය වෙනස් වන ආකාරය මෙන්ම මිනිසුන්ගේ ජීවිත වැඩි දියුණු වන ආකාරය සහ ශ්‍රී ලංකා රජයේ නිපුණතා සංවර්ධන ප්‍රතිසංස්කරණවලට මුල පිරීම් සහ සහයෝගය දීම් මේ උදාහරණවලින් පෙන්නුම් කෙරේ.

 

 

නව අදහස දක්වන්න