ලොව පුරා ශීඝ්‍රයෙන් නැවත හිස ඔසවන කොවිඩ් රැල්ල | දිනමිණ

ලොව පුරා ශීඝ්‍රයෙන් නැවත හිස ඔසවන කොවිඩ් රැල්ල

ධම්මික සෙනෙවිරත්න

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ගෙවීගිය දෙවසර ඉක්මවූ කාලසීමාව තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව, වැඩිම රෝහල්ගත කිරීම් සංඛ්‍යාව මෙන්ම කොවිඩ් පරීක්ෂණවලින් දෛනිකව වැඩියෙන්ම හඳුනාගන්නා සංඛ්‍යාව ද මේ සතියේ වාර්තා විය. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත දක්වන පරිදි ඉකුත් අඟහරුවාදා වාර්තා වූ ආසාදිතයන් ගණන 15 ලක්ෂයකට ආසන්නය. එය ඊට සතියකට පෙර වාර්තා වූ එම සංඛ්‍යාවට වඩා තුන්ලක්ෂයකින් පමණ වැඩිය. සතියේ දින 5ක් වැනි කාලසීමාව තුළ අලුතෙන් හඳුනාගන්නා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50ක් පමණ වේ. මෙය අවාසනාවන්ත තත්ත්වයක් බව පෙනෙන්නට තිබේ. මෙම සංඛ්‍යාලේඛන මඟින් පිළිබිඹු වන පරිදි සෑම අමෙරිකානුවන් සිව්දෙනෙක්ගෙන් එක් අයෙක් කොවිඩ් පරීක්ෂණවල දී ආසාදිතයෙක් ලෙස හඳුනාගනී.

ඉකුත් 9 වැනිදා පමණක් වයිරසය ආසාදිතවීම හේතුවෙන් රෝහල්ගත වූ සංඛ්‍යාව 128, 000කට ආසන්නවිය. ඊට පෙර එම වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ, මීට වසරකට පෙරදීය. එය, 125, 000 ක් පමණ විය. අමෙරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත දක්වන පරිදි ඉකුත් ඉරිදා දිනය තුළ ‍මෙලෙස රෝහල් ගතවූ සංඛ්‍යාව 142, 000 ඉක්මවීය. ඊට වසරකට ඉහත දී ද එය 142, 000 ඉක්මවීය. රෝහල්ගත වීම්වල සතියක් සාමාන්‍ය 132, 000 ඉක්මවා තිබේ. එය ඊට දෙසතියකට පෙර එම සංඛ්‍යාවට වඩා 83%කින් පමණ ඉහළ ගොසිනි.

ඔමික්‍රෝම් ප්‍රභේදයේ ව්‍යාප්තිය

අමෙ‍රිකාවෙන් මේ වන විට දෛනිකව වාර්තා වන නව ආසාදිතයන් ගණන අනුව ලොව වැඩියෙන්ම කොවිඩ් ආසාදිතයන් වාර්තාවන රට ද අමෙරිකාවය. බොහෝ ප්‍රාන්තවල සති අන්තයේ මෙම සංඛ්‍යා ප්‍රකාශයට පත් නොවන බැවින් වැඩිම ආසාදිතයන් ගණනක් බොහෝවිට වාර්තා වන්නේ සඳුදා දිනවලදීය. කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල කොවිඩ් පරීක්ෂාවන්ට ලක් වීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින ජනයා දැක ගත හැකිය. දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන පසුබිමක රෝහල් කාර්යමණ්ඩවලට එය දරා ගැනීම අපහසු වෙමින් පවතී. රෝගීන්ට සාපේක්ෂව කාර්යමණ්ඩල ප්‍රමාණවත් නැත.

දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 1700ක් පමණ වේ. වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියට ඔමික්‍රොන් ප්‍රභේදය බලපා ඇතැයි පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය යටතේ එම ප්‍රභේදයට ඉලක්ක කර නව එන්නතක් වැඩි දියුණු කරමින් ඇතැයි P Fizer ප්‍රධාන විධායක නිලධාරියා ඉකුත් සඳුදා පැවසීය. එය මාර්තු මස වන විට නිකුත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ යළිත් වරක් එරට පාසල් හා කාර්යාල පවත්වාගෙන යාම ගැටලුකාරී වී ඇත. රටේ ප්‍රධානතම නාගරික ප්‍රදේශවල කාර්යාල සේවක පැමිණීම් ඉකුත් සතිය වන විට 28% පමණ දක්වා පහත වැටී තිබිණි. දෙසැම්බරයේ දී එය 40%ක් පමණ ‍විය.

ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය අනුව එය වැඩිම අමෙරිකානුවන් සංඛ්‍යාවකට ආසාදනය වීම අපේක්ෂා කළ හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය. වසංගත විශේෂඥ ඇන්තනි ෆෝසිද ඒ බව පෙන්වා දී ඇත. එවැනි පසුබිමක වසංගතය, “ස්වභාවික ආපදාවක්” ලෙස සැලකිය හැකි බව ඔවුහු පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය යටතේ රෝහල් පද්ධතිය මනාව පවත්වාගැනීම හා ප්‍රවාහන පද්ධතිය පවත්වා ගැනීම වැනි කාරණා අත්‍යවශ්‍ය බවය. එසේම අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා‍ ගැනීම ද අවශ්‍යය.

වසංගතයේ ස්වභාවය මසක් තුළ වෙනස් කිරීම කිරීමට තරම් ඔමික්‍රොන් ප්‍රභේදය බලවත්ව ඇත. මසකට පෙර වැඩිම ව්‍යාප්තියක් පෙන්වූයේ ඩෙල්ටා ප්‍රභේදය වන නමුත් මේ වන විට ආසාදනයට ලක් වන අමෙරිකානුවන් අතරින් 98%ක් ම ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් එලෙස ආසාදනය වන අය වෙති. යම් සැනසීමකට කාරණයක් වන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරමටම මාරාන්තික නොවීමය. වැඩි පිරිසක් එන්නත්කරණය සපුරා තිබීම, බූස්ටර් එන්නත් ලබා තිබීම එහි දරුණු බලපෑම් අවම කර ගැනීමට බලපා ඇත. බරපතළ තත්ත්වයට පත් වීමෙන් වැළකීම සඳහා එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරමින් සිටිති. හැකිනම් N 95 හෝ K 95 මුව ආවරණ පලඳින ලෙසට ද ඉල්ලීමක් කර ඇත. එන්නත්කරණය සපුරා ඇති තැනැත්තන් රෝහල්ගත වීම හෝ මරණයට පත් වීම සිදු වන්නේ විරළ වශයෙනි. කෙසේ වුවද වයිරසය ආසාදනය වීම සිදු විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලිය.

ලූනා නව වසරේ උදාව පිළිගැනීමට සැරසෙන චීනයේ නගර 3ක් ද මේ වන විට මිලියන 20ක පමණ ජනගහනයක් ද සමඟ ලොක්ඩවුන් කර ඇත. වසංගත ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා රටේ උතුරු ප්‍ර‍ෙද්ශයේ දැඩි ආරක්ෂිත පියවර චීන රජය විසින් ගෙන තිබේ. ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කිරීම විශාල ලෙස සිදුවේ. නිරෝධායන රෙගුලාසි ද ක්‍රියාත්මක කර ඇත. එරට, ලොක්ඩවුන් කළ තුන්වැනි නගරය ලෙස අනිගුංග් නගරය වසා දැමුණේ ඉකුත් අඟහරුවාදාය. එහි ජනගහනය මිලියන 5.5කි. මීට පෙර යුයැංග් සහ ෂියැන් යන නගර 2 ද ලොක්ඩුවන් කිරීම සිදු විය. තියාංජිං නගරයේ මිලියන 14 ක් වන සමස්ත ජනගහනය සති අන්තය වන විට පැය 48ක් තුළ කොවිඩ් පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය යුතු බවට නිවේදනය කර ඇත. තියාංජිං නගරය බෙයිජිං නගරය ආසන්නව පිහිටා තිබේ. චීනය ශීත ඍතු ඔලිම්පික් උලෙළට සැරසෙමින් සිටින අතර එය පැවැත්වෙන්නේ ද බෙයිජිං හිය.

නව වසර චීනය නම් කර ඇත්තේ කොටියාගේ වසර වශයෙනි. ශීත ඍතු ඔලිම්පික් උලෙළ මෙන්ම නව වසර උදාව වෙනුවෙන් පැවැත්වෙන උත්සවවලට ද නව තත්ත්වය බලපෑම් සහගත විය හැකිය. එබැවින් එය ව්‍යාප්ත වීමට ඉඩ නො දී පාලනය කර ගැනීම චීනයේ ප්‍රයත්නය වී ඇත.

චීනය නව වසර උදා වීම නිමිත්තෙන් උත්සව පවත්වන්නේ ජනවාරි 31 වැනිදා පටන්ය. එය පෙබරවාරි 4 වැනිදා තෙක් සාම්ප්‍රදායිකව සිදුවේ. පළමු එරට වසංගත ව්‍යාප්තිය ඇරඹීමත් සමඟ චීනය අනුගමනය කළ කොරන්ටයින් සහ ලොක්ඩවුන් වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය ලොවට දැක ගත හැකි විය. ලොව පළමු වරට වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වූයේ ද චීනයයි. වයිරස ආසාදනයට ලක් වුව ද රෝගය බරපතළ නොවීම සඳහා එන්නත්කරණය බලපෑ බව ද පැහැදිලිය. චීනය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා භාවිත කළේ තම රටේ එන්නත් පමණි.

මේ වන විට ලොක්ඩවුන් කර ඇති ෂියැං වැනි නගර එරට ආර්ථික ක්‍රියාවලියේ දී බලාගාර බඳු නගරය. වසංගතයෙන් එරට ආර්ථිකයට ඇති වූ බලපෑම් පාලනය කර ගනිමින් මේ වන විට ආර්ථිකයේ වර්ධනයක් පෙන්වීමට චීනය සමත්ව සිටී.

චීනය සිය නව පස්අවුරුදු සැලැස්ම එළිදැක්වූයේ දෙසැම්බරයේදීය. වසර 2025 වන විට වාර්ෂික සිල්ලර වෙළෙඳාම රෙන්මින්බි ‍ට්‍රිලියන 50 (ඇ. ඩො. ට්‍රිලියන 7.85 කින්) දක්වා ගෙන ඒම ද ඉන් අපේක්ෂිතය 2020 වසරේ දී එම අගය රෙන්මින්බි ට්‍රිලියන 40ට ආසන්න විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට දින කිහිපයකට ඉහත දී අනතුරු ඇඟවූ පරිදි, ඉදිරි සති 4-8ක කාලය තුළ යුරෝපයෙන් අඩකට වඩා ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ඇත. WHO පුරෝකථනයට පදනම් වී ඇත්තේ මෙම වසරේ පළමු සතිය තුළදීම යුරෝපය පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 7ක් වාර්තා වීමය. දෙසතියක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයක් වන බව පෙනීගොස් ඇත. වෛද්‍ය හාන්ස් ක්ලූග් පවසන පරිදි, එය බටහිර සිට පෙරදිගට කඩාවදින සුනාමියක් බඳුය.

ඉකුත් සඳුදා දිනයේ එක්සත් රාජධානියෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 142, 000 ඉක්මවීය. රෝගීන් වැඩි වීම රෝහල් පද්ධතියට පීඩනයක් එල්ලකර ඇත්තේ කාර්යමණ්ඩලය ද ප්‍රමාණවත් නොවන පසුබිමකය. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලීවියර් වෙරාන් ද ජනවාරියේ දී රෝහල්වල තදබදයක් ඇති වනු ඇති බවට අනතුරු අඟවා තිබේ. වසංගත ව්‍යාප්තිය ඇරඹීමෙන් පසු ලක්ෂයක් පමණ කොවිඩ් වැලඳී මියගිය පෝලන්තයේ ජනගහනයෙන් 40% දෙනා තවමත් එන්නත්කරණයට ලක්ව නොමැත. රුසියාවෙන් වාර්තාවන දෛනික ආසාදිතයන් ගණන ද 100, 000ක් පමණ වී තිබේ. නොවැම්බරයේ දී එම සංඛ්‍යාව 41, 000ක් පමණ විය. මේ වන විට එරටින් හමුවී ඇත්තේ ඔමික්‍රොන් ආසාදිතයන් සීමිත ගණනක් වන අතර එය 13ක් වැනි සංඛ්‍යාවකි. දැනට රුසියාවෙන් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන මිලියන 10 ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාව 311000 ඉක්මවීය.

එන්නත්කරණය

බිල්ගේට්ස් පවසන පරිදි කොවිඩ් යනු කලින් කලට පැතිරෙන උණ වසංගතයක් මෙන් වනු ඇත. එලෙස සලකා ඊට ප්‍රතිකාර කළ හැකි බව ඔහුගේ අදහසයි. අවම වශයෙන් ඊළඟ වසර වන විට ඔමික්‍රොන් නිසා ලෝක ජනගහනයෙන් බොහෝ දෙනෙක් අතර වඩා ප්‍රබල ප්‍රතිශක්තියක් ඇතිවී තිබෙනු ඇතැයි ඔහු පෙන්වා දේ. සමාජයේ බහුතරයක එවැනි ප්‍රතිශක්තියක් ඇති වීම මඟින් වසංගතයේ බරපතළ බව පාලනය කර ගැනීමට හැකියාව ලැබේ.

කෙසේ වුව ද වෛද්‍ය ඇන්තනී ෆෝසි පෙන්වා දෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන බැවින් එය තවමත් ලෝකයට අභියෝගයක් බවය.

‍එම අභියෝගය ජය ගැනීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය බෙහෙවින් වැදගත්ය. WHO අනුමානය වී ඇත්තේ ද මේ වසරේ දී වසංගත ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවය. මේ වසර අවසන් වන විට වසංගතය ද අවසන් කර ගැනීමට හැකි වනු ඇත යන්න සෞඛ්‍ය විශේෂඥයන්ගේ ද අදහසය. ඒ සඳහා වන පළමු පියවර වන්නේ ජනගහනයෙන් ප්‍රමාණවත් පිරිසක් එන්නත්කරණය සම්පූර්ණ කිරීමය. මේ වන විට අමෙරිකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 5ට වැඩි 64%ක් එන්නත්කරණය සපුරා සිටී.

කෙසේ වුව ද මෙම වයිරසය මුළුමනින්ම අතුරුදහන්ව ඇතැයි සලකා ක්‍රියා කිරීම නොව ඉදිරියට ද එය සමාජයේ පවතින්නේ යැයි සිතා එයත් සමඟ කටයුතු කිරීමට හුරුවීම සිදු විය යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති.

නව අදහස දක්වන්න