කුඩු ගැහුවොත් කුඩේ කුඩු | දිනමිණ

කුඩු ගැහුවොත් කුඩේ කුඩු

මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සහ සාමාන්‍ය මානසික ක්‍රියාකාරීත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය ලෙස මත්ද්‍රව්‍ය ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑත කාලයේ සිට ආරම්භ වූවක් නොවන අතර, පෘතුගීසින් හා ලන්දේසි ආක්‍රමණය කළ කාලයේ සිටම පැවති දෙයකි. ප්‍රථමයෙන්ම පෘතුගීසින් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන අතර, පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදුව සිටියහ. එකල සිටි ආණ්ඩුකාරතුමා විසින් ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීම පිණිස අනුබල දෙන ලදී. මේ හේතු කාරණා හේතුවෙන් ලංකාවේ මෑතක් වන තුරුම මත්ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා හා අබිං සලකා ඇත.

මෙම මත්ද්‍රව්‍ය ගැටලුව අද වන විට විශාල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. ශ්‍රී ලංකාවේ හෙරොයින්වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000කට අධික ප්‍රමාණයක් වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායක ‍ෙඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා පැන නඟින සමාජ ප්‍රශ්න අතර සියදිවි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇති වන මානසික විකෘතීන් නිසා යම්කිසි අවස්ථාවන්වල පුද්ගලයා සියදිවි නසා ගැනීමට පෙලඹිය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත්වීම හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත් වුවොත් පවුල තුළ පැන නඟින ගැටලු අතිමහත් වන අතර, මූලිකවම පවුල් සංස්ථාව බිඳවැටිය හැකිය. එය පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක කරුණකි. එසේම වර්තමාන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා ප්‍රතිශතය ද විශාල ලෙස ඉහළ ගොස් ගොස් ඇත.

අනෙක් අතට ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය ගැටලුව නිසා විනාශ වී යයි. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පිටරටවලට ඇදී යන අතර, සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නඩත්තු කිරීම් නිලධාරින්ට වැටුප් ගෙවීම්, නඩු කටයුතු සම්බන්ධ අධිකරණ වියදම් හා මත්ද්‍රව්‍ය නාශක කටයුතු සඳහා පොලිසියට හා ආරක්ෂක අංශ සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමේ සමාජ ප්‍රශ්නයක් වන්නේය. දුම්බීම සම්බන්ධයෙන් ද සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැඟී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට සිගරට් දුම ආශ්‍රිත ලෙඩ රෝගවලින් වසරකට මිලියන 2.5 ක පමණ පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වේ. මේවා අතර හදවත් රෝග, පිළිකා සහ සිරෝසිස් යන රෝග බහුල වේ. මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග බොහෝමයක් ඇති අතර, ඒවා අතරින් තරුණයන් තුළ ගුණාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනික අවස්ථාවක් සලසා දීම, විවිධ සංවිධාන මඟින් උපදේශන සේවා පැවැත්වීම, පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් සේවයක් සැපයීම, ආගම මඟින් ඉටුවිය යුතු කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීම ආදී කටයුතු සූදානම් කිරීම කළ යුතුය. තවද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිනිසුන්ට දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීම කළ යුතුය. දේශන මඟින්, සාකච්ඡා සමුළු පැවැත්වීම මඟින් පාසල් සිසුන්ට මේ පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුය.

එසේම වැඩි වශයෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය, දුම්පානය යම්තාක් දුරට අඩු කළ හැකිය. මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි.නිදසුනක් වශයෙන් ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කළ හැකි අතර, මත්ද්‍රව්‍යවලින් සිදුවන හානිය දැඩි ලෙස පිළිඹිබු වන ආකාරයට සිසුන්ගේ නොබිඳෙන අවධානයක් ලැබිය හැකි තරමට මෙම වැඩසටහන් ආකර්ෂණීය හා බලවත් අයුරින් ඉදිරිපත් කළ හැකිය.

මෙම භයානක උවදුරෙන් ළමා පරපුර හා තරුණ පරපුර ගලවා ගැනීම අපි සියල්ලගේම පරම යුතුකමකි. වගකීමකි. ඒ සඳහා දායක විය හැකි අයුරින් දායක වී අනාගත පරපුර රැක ගැනීමට සියල්ලම කැප වෙමු.

කේ. බී. දිනුශා ක්‍රිශාන්ති
කැලණිය විශ්වවිද්‍යාල
ජනසන්නිවේදනය අධ්‍යයන අංශය

නව අදහස දක්වන්න