tik tok කරලා ආතල් එකේ මැරෙමු | දිනමිණ

tik tok කරලා ආතල් එකේ මැරෙමු

වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකතනය හා බැඳුණු ස්මාර්ට් ලෝකයක් ගොඩ නැගෙමින් තිබේ. ඒ හරහා විවිධ වූ මෘදුකාංග බිහි වෙමින් පවතී. ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් මේවා හඳුන්වන්නේ ඇප් නමිනි. එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කිරීමට මෙම ඇප් බොහොමයක් අපට වැදගත් වේ.

ඒ අතර ටික් ටොක් යනු 2016 දී චීනයේ හඳුන්වා දුන් මෘදුකාංගයකි. මෙය සංගීතය සමග කුඩා නර්තනයන්, රංගනයන් ඉදිරිපත් කළ හැකි විනෝදාස්වාදය සපයන යෙදුමක් ලෙස මුල් කාලීනව හඳුන්වා දෙන්නට විය. චීනය අභිභවා ජාත්‍යන්තරය තුළ ටික් ටොක් සමාජ මාධ්‍යයක් ලෙස ව්‍යාප්ත වීම ආරම්භ විණි.

ලංකාවේ ටික් ටොක් මාධ්‍යය හුදු විනෝදාස්වාදය වෙනුවෙන්ම ක්‍රියාත්මක වන්නක් නොවන බව වර්තමානය වන විට පසක් වෙමින් පවතී. මෑතකදී අසන්න ලැබුණු ඛේදජනකම පුවත වන්නේ ටික් ටොක් වීඩියෝවක් සිදු කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් තරුණයකු ඝාතනය වීමයි.

තරුණ ගැහැනු ළමයින් තමන්ගේ අඩ නිරුවත්, නිරුවත් ජායාරූප හා වීඩියෝ පට ටික් ටොක් මාධ්‍ය ඔස්සේ සමාජ ගත කිරීම අලුත්ම විලාසිතාවක් බවට පත් වී තිබේ." රටටම නිරුවත පෙන්වූ ටික් ටොක් නංගිගේ ලීක් වූ වීඩියෝ ව " මෙලෙස සමාජ මාධ්‍යවල පුවත් පළ වන්නේ තරුණ ජීවිත නිකරුණේ විනාශ කර දමමිනි.

සමාජයේ සෑම කාණ්ඩයක් අතරම ටික් ටොක් වීඩියෝ කරමින් සමාජ ජාල හරහා මුදා හැරීම ප්‍රචලිත වී තිබේ. මෙවන් කාලයක පාසල් නිල ඇඳුම් වලින් පවා නුසුදුසු ලෙස හැසිරෙමින් ටික් ටොක් වීඩියෝ සඳහා පෙනී සිටින අවස්ථා දක්නට ලැබේ.

රටේ තරුණ ප්‍රජාව මෙලෙස ෆැන්ටසියම තමන්ගේ මුළු ජීවිතේ කරගෙන සිටින විට ලංකාවේ ඉදිරි පැවැත්ම කෙසේ සිදු වේද යන පැනය මතු වේ.

නමුත් ලංකාවේ වුවද ටික් ටොක් වීඩියෝ හරහා වැදගත් අන්තර්ගතයන් සපයන පිරිස් දුලබ වශයෙන් වුවත් දක්නට ලැබෙන බව කිව යුතුමයි. අවාසනාවට මෙන් අපේ තරුණ තරුණියන් තාක්ෂණය සමග බද්ධ වූ මෙම මාධ්‍ය පරිශීලනය කරන්නේ කිසිදු විචාර බුද්ධියක් නොමැතිවයි.

කෙසේ වුවත් විනෝදාස්වාදය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගය ලංකාවේ තාරුණ්‍යය නම් අයථා ලෙස භාවිතා කරන ආකාරය පමණක් අපට දක්නට ලැබේ. මුදල් ඉපයීම, ප්‍රසිද්ධිය ලබා ගැනීම වැනි වාසිදායක අරමුණු වෙත ළඟා වීමට ටික් ටොක් මාධ්‍ය හරහා ලංකාවේ තාරුණ්‍යය උත්සාහ ගන්නේ නම් ටික් ටොක් හරහා සිදු වූ ඛේදජනකයන් අවම වනු ඇත.

දිල්කි රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න