Happy එකෙ ඉන්න නම් Silent එකෙ වැඩ කරමු | දිනමිණ

Happy එකෙ ඉන්න නම් Silent එකෙ වැඩ කරමු

මං මේ දවස්වල නිරන්‍තරයෙන් අහන වචන කිහිපයක් තමයි, "වැටුණා නම් නැගිටපන්" කියන වචන තුන. ඒ වචන ඇහුවා හෝ නැතා හෝ අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මේ ඉන්න තැනින් පියවරක්, දෙකක් හෝ ඉස්සරහට තියන්න. නැත්නම් මේ යන විදිහත් එක්ක අපිට ජීවත් වෙන්න සෑහෙන්න අමාරු වෙනවා. නමුත් අපිට පුළුවන්ද ප්‍රශ්නයක් වුණාම එහෙම එකපාර නැගිටින්න ? මොකක් හරි තුවාලයක් වුණාම ඉක්මනට සුව වෙන්න ? මං හිතන්නේ නෑ අපිට ඒක ලේසි දෙයක් කියලා.

සමහරක් ප්‍රශ්නවලට මුහුණ දුන්නාම මිනිස්සුන්ට ඉක්මනට සර්වයිව් වෙන්න පුළුවන්. නමුත් සමහරක් ප්‍රශ්නවලට එහෙම සර්වයිව් වෙන්න බෑ. කාලයක් යනවා ඒකට. ඒ වගේ දේකට උදාහරණයක් තමා මරණය කියන්නේ. අපේ කවුරුහරි ළඟ කෙනෙක් නැති වුණාම අපිට ගොඩාක් ලොකු දුකක් ඇති වෙනවා. ඒ දුක හන්දා අපි පොළොවේ හැපි හැපී අඬනවා; හැමදේම එපා වෙනවා; කරන් ආපු වැඩ සේරම පැත්තක තියලා පැත්තක් ගහගෙන ඔහේ බලාගෙන ඉන්නවා. මං මේ කිව්වේ මං දැකපු දේවල් කිහිපයක් විතරයි.

ඉතින් ඒ බිඳුණු මනුස්සයගේ හිත හදලා ආයෙමත් යථා තත්වයට ගැනීමේ රාජකාරිය පැවරිලා තියෙන්නේ එයාව ඇසුරු කරන අයට; එයාගේ ආදරණීයයන්ට. ගොඩාක් දෙනෙක් මේ වැඩේට දක්ෂයි. නමුත් එහෙම බැරි අයත් අපි වටේ ඉන්නවා කියලා අපට අමතක කරන්න බෑ. සමහරක් මිනිස්සුන්ට අනිත් අයගේ කැඩුණු හිත් හදන්න බෑ. ඒ අය 'සිත් ප්‍රතිසංස්කරණය' කියන වැඩේට දක්ෂ නෑ. ඉතින් ඒ අය කරන්නේ තමන්ගේ මිත්‍රයා දිහා බලා ගෙන ඉන්නෙක. සමහරක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ එහෙම දුකට පත් වෙච්ච මනුස්සයෙක් එක්ක කතා කරන විදිහ ගැනවත්. මට හිතෙනවා එහෙම වෙන්න ලොකුම හේතුව තමයි මරණය සම්බන්ධව ලොකු අත්දැකීමක් නැතිකම.

නිදසුනක් විදිහට තවමත් මව්පියන් මිය ගියේ නැති දරුවෙක්ට, මව්පියන් මිය ගිය තවත් දරුවෙක්ගේ හැඟීම් දැනීම් තේරෙන්නේ කොහොමද ? ඒ අයට වැඩිපුරම හිතෙන දෙයක් තමයි "අනේ මගේ අම්මා හරි තාත්තා හරි නැති වුණා නම් මට මොනවා වෙයිද ?" කියන සිතුවිල්ල. ඉතින් සමහරක් දරුවන් මේ සිතුවිල්ලෙන්, මව්පියන් අහිමි වූ දරුවන්ගේ සිත් සතන් නැවත ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහ කරනවා. ඒත් සමහරක් දරුවන්ට ඒ සිතුවිල්ල තිබුණත් තමන්ගේ යාළුවාට උදව් කරන්න බැරි වෙනවා. ඒකට ලොකුම හේතුව අත්දැකීමක් නොමැතිකම.

නමුත් මේ වගේ අමාරු තැනකදී තවත් සමහරු කරන දෙයක් තමා, අමාරුවේ වැටුණ කෙනා කාලයක් අරන් සර්වයිව් වෙන විදිහ බලා ගෙන ඉන්නෙක. ඒක හරි ලස්සන දෙයක්. හිතන්න; අපි නිහඬව තව කෙනෙක් නැවත සුව වෙන තෙක් බලා ගෙන ඉන්නවා. ඒක දන්නේ අපේ හිත විතරයි. එයා දන්නේ නෑ. අපි එයාට කියන්නේ නෑ. එයා අපි අතරට ඇවිල්ලා සාමාන්‍ය විදිහට හැසිරෙන කොට, එයා අනිත් අයත් එක්ක විහිළු තහළු කරන කොට, ආයෙමත් හිනාවෙලා ලස්සනට ඉන්න කොට අපිට දැනෙන්නේ හරි තෘප්තිමත් හැඟීමක්. ඒක දන්නේ අපේ හිත විතරයි.

ඉතින් මිනිස්සුන්ට නිහඬව සිටීමෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්; ඇතැම් විට කාටත් වඩා හොඳට.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

නව අදහස දක්වන්න