මේ ප්‍රේමයත්, නිබ්බුත පදයක්... | දිනමිණ

මේ ප්‍රේමයත්, නිබ්බුත පදයක්...

බිඳෙන් බිඳ අරගෙන ස්නේහය
හිත පුරා ඇන්දේම ප්‍රේමය
උඹ දන්නේ නැ මගේ හීනය
අසම්මතයි මේ අපේ ප්‍රේමය...

උඹ දන්නේ නැති අහසක
සඳ වුනත් දුරින් හිටි තරුවක
නුඹ උන්නා නොසෙල්වි පිටුවක
මං ලිව්ව කවියේම පදයක...

මහා මැදියමත් එක්ක හාදව
හීම පියලි බිම වැටෙන සීතල
උඹව මතක් වෙනකොටයි
මට දැණුනේ ප්‍රේමය...

නිශාන්ත දසනායක



ඉරබටු තරුව

සඳ ඔබට පෙම් කරමි ඉඟි මරමි
රෑ දිවා ඔබ බලා දුරින් ඉඳ හැඩ කරමි
පුරපෝය අමාවක
එකලෙසින් දුරින් ඉඳ තනි රකිමි

මටද ඔබ ඔබද මට
හිමිම වූ වරුවකම ඇති තරම්
ඔය සෙනෙහෙ විඳිනවා දැනෙනවා
තරුවකට හැකි වෙයි ද පුරපෝය
හඳ වෙන්ට

නිති පතා හමුවෙනා මතක පොදි
තුරුලු කර ගුලි වෙලා
මම හිඳිමි ඔබ සොයා එන තුරා
මා නොමැති කළ මගේ මතකයන්වත් විඳිනු
සඳ ඔබේ මා ඔබේ
ඉර බටු තරුවයි සදා

ඩී. එල්. අයි. එස්. රන්චාමර




නුඹ දකින්නම්...

(නිමිත්ත :- දෑස් අඳ අයෙකුට තම ප්‍රේමවන්තිය එක් ඇසක් පූජා කරයි..)

අඩක් පියවුනු දෑස් විවරව
හිනා වෙන ඒ මුහුණ දුටුවෙමි...

බොඳව වැහැරුණු දෑස් අතරින්
නොදැන වැටි කඳුලක්ද දුටුවෙමි...

ප්‍රේමයේ නම් කොතැන ලියුනද
තවම ඒ නම් කොහෙද නොදනිමි...

කවුරුවත් නැති උනත් ඇසකින්
ප්‍රේමියේ මම නුඹව දකිනෙමි...

නමක් නැති දුර ඈත අහසට
නුඹෙ නමින් නැවතිල්ලෙ අමතමි...

තවත් දුර යන අතරවාරයෙ
මම නොවේ නුඹ, නෙතින් දකිනෙමි...

දේශෝදාර ලියනගේ



නුඹෙ ගීය සෙවීමි

බුදල්මි
මමද සිහගිරි ආමි
නෙතු වෙහෙසීමි
නුඹෙ ගීය සෙවීමී
නෙක නෙක
කුරුටු ගී දුටිමි
ඉංග්‍රිසියෙන් කුරුටු ගෑ.
නැවත ආවොත් සිහගිරි
හිත නොගෙනෙනු මැනවි
රිදුම් ඉවසනූ නොහී
මෙවග ලියා තැබීමි
රිදුණු හදවත අත ගෑමී
කොළපාට තුරු මුදුන් සිපගතිමි
නැවුම් සිතුවිලි පිරවීමි
ඉතින් කවියක් ලිවීමි
කිවිඳියක් කළ පිනත්
නුඹටම පුදමි.

තුෂාරි ජයසිංහ

නව අදහස දක්වන්න