කූරගල විහාරස්ථානයේ පුනර්ජීවය සනිටුහන් කරමින් යුද හමුදාපති පූජා වස්තු තැන්පත් කෙරේ | දිනමිණ

කූරගල විහාරස්ථානයේ පුනර්ජීවය සනිටුහන් කරමින් යුද හමුදාපති පූජා වස්තු තැන්පත් කෙරේ

යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු, ඡායාරූප සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඊයේ (16) පැවැත්විණි. 
 
කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ කැපවීම මත දිගුකලක් පුරාවට කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැතිව ගරාවැටෙමින් පැවති බළංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි කූරගල ලෙන් විහාරය ලෙස ප්‍රචලිත පූරගල ලෙන් විහාරස්ථානයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පනගැන්වීය.
කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට මාස 8 කට පමණ පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සිදුකළ ආරාධනයකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.
 
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ආගමික උත්සව අවස්ථාව අමතමින් ගරාවැටෙමින් පැවති මෙම පුදබිම කූරගල විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිය ගණනක යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දිවා රෑ නොබලා ලබාදුන් සුවිශේෂි දායකත්වය මත බෞද්ධ ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීමට ඉඩහසර සැලසුනු බව සිහිපත් කළේය. 
 
මෙම පුණ්‍යෝත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න