ඩිමෙන්ෂියා ලොව වසාගන්නා ලකුණු | දිනමිණ

ඩිමෙන්ෂියා ලොව වසාගන්නා ලකුණු

 

2050 වන විට ලෝ පුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව මිලියන 153 ඉක්මවා යනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. 2019 වසරේදී ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන මිලියන 57කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විණ. 2050 වන විට එම සංඛ්‍යාව තෙගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය ඉදිරි කාලයේදී බරපතළ සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය කරනු ඇති බව ද විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ එමා නිකොල්ස් සහ පිරිස ඩිමෙන්ෂියා රෝගීන් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසුව ‘ද ලැන්සෙට් පබ්ලික් හෙල්ත්’ජර්නලයට ලියන ලද විද්‍යාත්මක ලේඛනයකින් මේ තොරතුරු අනාවරණය වූයේය.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවකට හුරු වී සිටීම, දුම්පානය, ස්ථුලතාවය සහ දියවැඩියාව වැනි හේතු නිසා ඩිමෙන්ෂියාව ඇති වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේ වුවත් 2050 වසර වන විට ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව තෙගුණයකින් වැඩිවීමට වයස්ගතභාවය ප්‍රබල හේතුවක් වනු ඇතැයි පර්යේෂකයෝ සඳහන් කරති. ඔවුන් මේ බව අවධාරණය කරන්නේ රටවල් 195ක ඩිමෙන්ෂියා රෝගීන් පිළිබඳව ඒකරාශී කරගත් දත්ත පදනම් කරගෙන සකසන ලද ගණිතමය ආකෘතියක් ආධාරයෙනි. 2050 වසරේදී ලොව කවර රටවල සහ කවර කලාපවල ඩිමෙන්ෂියා රෝගීන් වැඩිවනු ඇත්ද යන්න පුරෝකථනය කිරීමට එකී ආකෘතිය යොදා ගත හැකි බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඩිමෙන්ෂියා යනු මිනිස් මොළයට වන හානි හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි. මොළයේ සෛල විවිධ අනතුරුවලට භාජනය වීමෙන් ඩිමෙන්ෂියා ඇති විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඒ හැරුණු විට ඇතැම් රෝගී තත්ත්වයන් හේතුවෙන් ද මොළයට හානි පැමිණිය හැකිය. මොළයට වන එම හානි නිසා මතක ශක්තිය, සිතීමේ ශක්තිය මෙන්ම චර්යාවන් ද බෙහෙවින් පහළ මට්ටමකට ඇද වැටෙයි. මතකය සහ චින්තන ශක්තීන්ගේත්, චර්යාවේත් ඇති වන එම පහළ බැස්ම පුද්ගලයාගේ හැකියාවන්වලට පමණක් නොව දෛනික කටයුතුවලටත් බාධාවක් වේ. හැඟීම් පළ කිරීම, භාෂාව භාවිත කිරීම, අවධානය යොමු කිරීම වැනි කාර්යයන් පවත්වාගෙන යෑමට ද නොහැකිව පුද්ගලයා තව දුරටත් අකර්මන්‍ය වීම ඩිමෙන්ෂියා රෝගයේ ලක්ෂණයකි. ඩිමෙන්ෂියා රෝගය සුව කිරීම සඳහා ප්‍රතිකාරයක් ද නැත.

මිනිසා වැඩිපුරම මරණයට පමුණුවන සාධක අතර හත් වැනි ස්ථානය ඩිමෙන්ෂියා රෝගයට හිමි වන බව විද්‍යාඥයෝ පවසති. වාර්තාවන්හි සඳහන් වන ආකාරයට ලෝ පුරා ජීවත් වූ ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවක් 2016 වසරේදී ජීවිතක්ෂයට පත් වූහ. වසරක් පාසා ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව වැඩි වන අතර, ඉන් මිය යන සංඛ්‍යාව ද වැඩි වන බව පර්යේෂකයෝ පවසති. වයස්ගතභාවයට පත් පුද්ගලයන් අකර්මණ‍ය සහ ආබාධිත තත්ත්වයටත් අනෙක් අය මත යැපෙන තත්ත්වයටත් පත් කරන රෝග අතර ඩිමෙන්ෂියා කැපී පෙනෙයි. එනිසා ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන අයව නඩත්තු කිරීම සඳහා ද විශාල වියදමක් දරන්නට සිදු වේ. ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළුණු අය නඩත්තු කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 957.56ක වියදමක් දරන්නට 2015 වසරේදී සිදු විණ. 2019 වසරේදී එය ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 1කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලින් අනාවරණය වේ. එකී වියදම මේ වන විට වසරක් පාසා තව දුරටත් ඉහළ යමින් තිබෙයි. ලෝ පුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන් රැක බලා ගැනීම සඳහා 2050 වසරේදී ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 9.12කට අධික මුදලක්දරන්නට සිදු වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

ඩිමෙන්ෂියා රෝගය ඇති කිරීමට හේතු වන සාධක හඳුනා ගැනීම, රෝගයට ගොදුරු වන පිරිස අඩු කර ගැනීම මෙන්ම රෝගය බරපතළ තත්ත්වයට පත්වීම කල් දමා ගැනීම ද ඉතා වැදගත් බව විශේෂඥ එමා නිකොල්ස් සිය පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නීය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම, ව්‍යායාම කිරීමට වැඩිපුර නැඹුරු වීම, දුම්පානයෙන් මිදී සිටීම, වඩාත් ඵලදායී අධ්‍යාපනයකට යොමුවීම වැනි ක්‍රියාවල වැදගත්කම පෙන්වා දී වැඩසටහන් ක්‍රියාත්මක කර ඩිමෙන්ෂියාවට ගොදුරු වන සංඛ්‍යාව අඩු කර ගැනීම ඉතා වැදගත් බව ඈ සඳහන් කර තිබේ. අඩු ආදායම් මට්ටමේ පසුවන රටවල බලධාරීන්ගේ අවධානය මෙකී තත්ත්වය වෙත යොමුවිය යුතු බව ඇගේ අදහසයි. එයට හේතුව, අඩු ආදායම් මට්ටමක් සහිත රටවලින් ඩිමෙන්ෂියා රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රවණතාවක් තිබීමයි.

2050 වසර වන විට ඩිමෙන්ෂියා රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙතැයි අනුමාන කරන කලාපයන් ද එමා නිකොල්ස් සහ පිරිස සිය පර්යේෂණයෙන් පෙන්වා දෙති. සහරා කාන්තාරය ආසන්නයෙන් නැඟෙනහිර රටවල ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව 660000 සිට මිලියන 3 දක්වා වැඩි වනු ඇති බව එහි සඳහන් වේ. උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග කලාපවල රෝගීන් සංඛ්‍යාව මිලියන 3 සිට මිලියන 14ක් දක්වාත්, බටහිර යුරෝපයේ රෝගීන් සංඛ්‍යාව මිලියන 8 සිට මිලියන 14 දක්වාත් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ආසියා පැසිපික් කලාපයේ ඉහළ ආදායම් මට්ටමක් සහිත රටවල ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව මිලියන 4.8 සිට මිලියන 7.4ක් දක්වා වැඩි වනු ඇතැයි ආකෘතිය ආශ්‍රයෙන් පුරෝකථනය කළ හැකිය. බ්‍රිතාන්‍ය ජාතිකයෝ විශාල සංඛ්‍යාවක් ඩිමෙන්ෂියා රෝගයෙන් මේ වන විටත් පීඩා විඳිති. එම සංඛ්‍යාව 2050 වසර වන විට 907000 සිට මිලියන 1.6ක් දක්වා වැඩි වනු ඇති බවට එමා නිකොල්ස් සහ පිරිස අනතුරු අඟවති.

 

 

බී.බී.සී. ඇසුරෙනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න