නදුල හැදූ වායු තත්ත්ව මනින උපකරණය | දිනමිණ

නදුල හැදූ වායු තත්ත්ව මනින උපකරණය

 

මහනුවර කියූ සැණින් සැමගේ මතකය දිවයන්නේ දළඳා මාලිගාව වෙතයි. එසේම නුවර වැව රවුම, හන්තාන කන්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආදි සිත් ගත් තැන් බොහොමයක් මහනුවර පිහිටා තිබෙයි. වසරකට ලක්ෂ ගණනකගේ පා පහස ලබන මහනුවර හුස්ම ගැනීමට තරම් සුදුසු නගරයක් නොවන බව මේ වන විට විද්‍යාත්මකව සොයා ගෙන තිබේ. ඒ මෙරට වැඩිම වායු දූෂණයක් සිදු වෙමින් පවතින නගරය මහනුවර ලෙස හඳුනාගෙන සිටීමයි.

මෙරට සෙසු නගරවලට වඩා මහනුවර නගරය තුළ සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සියුම් අංශු සහ ඕසෝන් වැනි ප්‍රධාන වායු දූෂකයන්හි පැවතිය යුතු සම්මත අගය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණ මඟින් තහවුරුව ඇත. විශේෂයෙන්ම නගරයට දරා ගත නොහැකි වාහන සංඛ්‍යාවක් දිනකට පැමිණීම ද නගරයේ වායු දූෂණය ඉහළ යෑමට හේතුවක්ව ඇති බව ද පැවසේ.

වැව රවුම කේන්ද්‍ර කර ගනිමින් පාසල් රැසක් පිහිටා ඇති බැවින් වායු දුෂණයේ ප්‍රධාන බලපෑම් එල්ල වන්නේ පාසල් දරු දැරියන්ට වන අතර ඔවුන් ඇදුම වැනි ශ්වසන රෝගවලට පාත්‍ර වීම ඉහළ ගොස් ඇති බව ද මහනුවර ළය රෝහලේ දත්තවලින් සනාථව ඇත. එසේම මහනුවර නගරයේ ද රථවාහන තදබදය හා වායු දූෂණයෙන් ඇති වූ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් වර්ෂිකව වැය කිරීමට සිදුව ඇති බව ද එම රෝහල් ආරංචි මාර්ග හෙළි කර සිටියි.

පාසල් කාලයේ සිටම මේ වායු දූෂණයට හසු වන මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලේ සිසුවකු වායු තත්ත්වයේ වෙනස් වීම මැන බැලීමට හැකි උපකරණයක් (Air Quality Indicator) නිර්මාණය කිරීමට සමත්ව සිටියි.

නගර මධ්‍යයේම පිහිටා ඇති සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සිසුන් රැසක්ම වායු දූෂණය නිසා ස්වසන රෝගවලට ගොදුරව සිටිති. දිගින් දිගටම පවතින මේ අයහපත් වටපිටාව නිසා පාසලේ වායු තත්ත්වය මැන බැලිය හැකි උපකරණයක් තනන ලෙස සිල්වෙස්තර විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය කළ ඉල්ලීමකට අනුව 7E2 පන්තියේ ඉගෙනුම ලබන ආර්එම් නදුල අයෝධ්‍ය බණ්ඩාර කාලාමශෝක සිසුවා මේ උපකරණය තනා ඇත.

ඔහුගේ මෙම උපාංගය හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ නිරීක්ෂණයට ලක් කර එමඟින් දෙන දත්ත නිවැ‍රැදි බවට තහවුරු කරගෙන තිබීම ද සුවිශේෂීය.

මෙම උපාංගයෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් පරිමාවේ සුළු වෙනස් වීමක් පවා හඳුනාගෙන එය විද්යුත් තිරයක් මතට ගෙන ප්‍රමාණයේ වෙනස් වීම එල්සීඩී විදුලි බුබුළු මඟින් දක්වයි. ඒ අනුව කොළ පැහැයෙන් වායු වෙනස්වීම මිලියනයකට කොටස් 250PPM සිට 600PPM දක්වාත් කහ පැහැයෙන් මිලියනයකට කොටස් 600PPM සිට 1250PPM දක්වාත් රතු පැහැයෙන් මිලියනයකට කොටස් 1250PPM වැඩි වීමත් පෙන්නුම් කරයි.

මෙම නිර්මාණයේ තවත් සුවිශේෂී පහසුකමක් වන්නේ උපාංගය මඟින් ගන්නා දත්ත කෙටි පණිවිඩයක් මඟින් ජංගම දුරකතනයට ලබා ගැනීමට හැකි වීමයි. නදුල මේ සඳහා පරිගණක මෘදුකාංගයක් ද නිර්මාණය කර තිබේ. මෙසේ ජංගම දුරකතනයට ලැබෙන දත්ත වසරක කාලයක් දක්වා මෘදුකාංගය විසින් ගබඩා කර ගන්නා අතර, ඕනෑම අවස්ථාවක එම දත්ත ගැනීමට ද හැකිය. වායුගෝලයේ පවතින අනිකුත් අහිතකර වෙනස්වීම් හඳුනා ගැනීමට හැකි ලෙස තව දුරටත් මෙම උපාංගය දියුණු කිරීම නදුලගේ අපේක්ෂාවයි. රොබෝ තාක්ෂණය හා විද්යුත් පරිපථ ආශ්‍රිත නිර්මාණ රැසක් සිදු කර ඇති නදුල ඉදිරියටත් නව නිර්මාණකරණයේ යෙදීමට අදිටන් කරගෙන සිටියි.

තව නව නිර්මාණකරණයට දායක වන මව්පියන්ටත් උපදෙස් සහ මඟ පෙන්වීම සිදු කරන පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියටත් සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය බණ්ඩාර ජයසුන්දර මහතාට සහ මලිත් හසුන් හෙට්ටිආරච්චි මහතාටත් සිය ගෞරවනීය ස්තුතිය පුද කර සිටියි.

 

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න