ඔමික්‍රොන් අවදානම | දිනමිණ

ඔමික්‍රොන් අවදානම

දිවයින පුරා ඔමික්‍රොන් වයිරසය පැතිර යා හැකි බවට අනතුරු හැඟවී ඇත. පසුගිය සිකුරාදා ඔමික්‍රොන් ආසාදිතයන් එකසිය හැටක් අලුතින් හඳුනා ගෙන ති‍ෙබ්. ආසාදිතයන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක නියෝජනය කරන බව ද සඳහන්ය. ඉහත ප්‍රදේශ ජනගහනය අධික කලාප ලෙස හැඳින්වේ. ඒ අනුව ශීඝ්‍රයෙන් වයිරසය ව්‍යාප්ත විය හැකිය. මෙතෙක් හඳුනා ගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන්ගේ ගණන දෙසිය අටකි. එහෙත් හඳුනා නොගත් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමාජය තුළ සිටින්නට පුළුවන. ඔවුන් සමාජ ක්‍රියාකාරකම් සමඟ නිදහසේ ගනුදෙනු කරන්නත් පුළුවන. ඒ අනුව පවතින තත්ත්වය භයානක විය හැකිය.

සිකුරාදා නිකුත් වූ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන අන්දමට ඔමික්‍රොන් ආසාදිතයන් එකසිය හැටක් ද ඩෙල්ටා ආසාදිතයන් විසි දෙකක් ද හඳුනා ගෙන ඇත. එයින් පෙනී යන්නේ ඔමික්‍රොන් පමණක් නොව, ඩෙල්ටා වයිරස් විශේෂය ගැන ද අනතුරක් ඇති බවය. ගෙවී ගිය දින හතර නිවාඩු කාලයකි. එම කාලය තුළ වන්දනා ගමන්, සංචාරක ගමන් හා ප්‍රියසාද සංවිධානය වී තිබිණි. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල ද රුවන්වැලි සෑ චෛත්‍යය අසල ද අධික වන්දනාකරුවෝ පිරිසක් රැස්ව උන්හ. ශ්‍රී පාද වන්දනාව සඳහා ඊටත් වැඩි පිරිසක් පැමිණ උන්හ. මේ ස්ථානවලදී සෞඛ්‍ය නීති - රීති පිළිපදින්නට වන්දනාකරුවන් යොමු වන්නේ නැත.

මිනිසාගේ ආගමික චාරිත්‍රවලට හෝ ආස්වාදනීය අවස්ථාවලට ‍හෝ බාධා කිරීමේ හැකියාවක් රටක නීතියට නැත. ආගම ඇදහීම හා ඊට අදාළ චාරිත්‍රවල යෙදීම මිනිසාට ඇති මූලික අයිතියකි. එලෙසම වින්දනය සඳහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමේ අවස්ථාව ද ඔහුට තිබිය යුතුය. ඒවා තහනම් ක්‍රියා ලෙස අවලංගු කිරීමේ හැකියාවක් නැත. මේ වන විට විවෘත සංගීත සංදර්ශන පැවැත්වීම පවා ආරම්භ වී තිබේ. මේ පසුබිම නව වයිරස් ප්‍රභේදවලට හිතකර අවස්ථාවක් නිර්මාණය කර ඇත. ඔමික්‍රොන් හා ඩෙල්ටා වයිරස් ප්‍රභේද දිවයින පුරා වේගයෙන් පැතිර යා හැකි යැයි අවදානම මතුවන්නේ ඉහත කී නිදහස් පරිසරය තුළය. යම් හෙයකින් තත්ත්වය උත්සන්න වුව හොත් යළිත් රට වසා දැමීමට සිදු වනු ඇත.

‍රට යළිත් වසා දැමීම යනු සිතා ගත නොහැකි තත්ත්වයකි. එසේ වුව හොත් නැවත මුල සිට ජීවිතය ආරම්භ කිරීමට අපට සිදු වනු ඇත. වෛද්‍ය අංශ පෙන්වා දෙන අන්දමට මහජනයා ප්‍රධාන සාධක දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න සංචරණය හැකිතාක් සීමා කිරීම හා සෞඛ්‍ය උපදේශන පිළිපැදීමය. දෙවැන්න හැකි විගස තුන්වන එන්නත් මාත්‍රාව ගැනීමය. සංචාරක කටයුතු සීමා කරන්නැයි උපදේශන දුන්නද එය සිදු වන්නේ නැති බව පසුගිය දින හතර දෙස ආපසු හැරී බලන විට පෙනී යයි. ආගමික සිද්ධස්ථාන පිරී - ඉතිරී ගොසිනි. විනෝදයට සුදුසු ස්ථාන ද පිරී - ඉතිරී ගොසිනි.

ගිය වසරේ අලුත් අවුරුදු සමය නිරීක්ෂණය කළ හොත් අපට හොඳ පාඩමක් ලබා ගත හැකිය. එහිදී සංචරණ සීමා ලිහිල් වූ අතර, මිනිස්සු නිදහසේ විවිධ ස්ථාන වෙත සංචාරය කරන්නට වූහ. අවුරුදු සමය නිමා වන විට නව කොවිඩ් රැල්ලක් මතු විය. යළිත් රට මාස කිහිපයකට වසා දමන්නට ද ඇතැම් සමාජ කණ්ඩායම් සඳහා ජීවනාධාර දෙන්නට ද රජයට සිදු විය. රටක ආර්ථික ක්‍රියාවලිය එක දවසකට වසා දැමුව හොත් රජයට විශාල පාඩුවක් විඳීමට සිදු වෙයි. මාස ගණනක් රට වසා දැමුව හොත් එයින් සිදු වන පාඩුව අතිමහත්ය. බිඳවැටී ඇති ජාතික ආර්ථිකය ගොඩගැනීමට දරන උත්සාහයක් තුළදී එබඳු පාඩුවක් දරා ගැනීමට සිදු වීම ඛේදනීය තත්ත්වයකි. ඒ ගැන රජය පමණක් නොව, මහජනයා ද කල්පනා කළ යුතුය.

අනෙක් කාරණය වන්නේ එන්නත්කරණයේ තුන් වන මාත්‍රාව ලබා ගැනීමය. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තුන් වන ‍මාත්‍රාව සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා උනන්දුව ඉතා අඩුය. තුන් වන මාත්‍රාව රටේ මුළු ජනගහනයෙන් 60%කටවත් ලබා දුන හොත් රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. මේ වන විට අවශ්‍ය සියලුම එන්නත් රජය සතු වෙයි. දිනපතාම එන්නත්කරණය ද සිදු වෙයි. සිදු විය යුත්තේ එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගොස් නොමිලේ දෙන එන්නත ගැනීම පමණි. තුන් වන මාත්‍රාව මෙතෙක් ගෙන ඇති පිරිස මුළු ජනගහනයෙන් 20%ක් තරම් බව සඳහන් වී ඇත. එය ප්‍රමාණවත් සංඛ්‍යා දත්තයක් නොවේ. තුන් වන මාත්‍රාව කෙරෙහි ජනතාව ‍යොමු වීම අඩුවී ඇත්තේ මිථ්‍යා මත පැතිර යෑම නිසා බව ද සමහරු පෙන්වා දෙති. එහි ඇත්තක් තිබේ.

ශ්‍රී ලංකාව යනු රෝග සුවකර ගැනීම සඳහා යකැදුරන් පසුපස හඹායන මිනිසුන් සහිත රටකි. කොරෝනාවලින් බේරීම සඳහා යකැදුරන් පසුපස ගිය අය ද සිටිති. මේ හැරෙන්නට රජයේ එන්නත්කරණ වැඩසටහනට බාධා ඇති කරන හා එය විවේචනයට ලක් කරන දේශපාලන කණ්ඩායම් ද සිටිති. කොරෝනා වසංගතය සමඟ දේශපාලනය කරන්නට යෑම අතිශය කනගාටුවට කාරණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා‍ දෙන අන්දමට වසංගතයට එකම විසඳුම එන්නත්කරණය ඔස්සේ ලබා දෙන ප්‍රතිශක්තිකරණය පමණි. අපේ සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට හතර වන එන්නත් මාත්‍රාවකට වුව රජය සූදානම්ය. රජය කොරෝනා මර්දනයට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි කිව හොත් එය අතිශයෝක්තියක් නොවේ. අවදානම ඇත්තේ ජනතාවගේ හැසිරීම තුළය.

නව අදහස දක්වන්න